බළලුන් ගැන නොදන්න කතා
බල්ලන් සහ බළලුන් සන්සන්දයට කළොත්, අහසට පොළොව වැනිය. මේ දෙගොල්ලන්ගෙන් වඩාත් මනුෂ්‍ය අපට සමීප, ආදරේ, කිකරු සහ ලෙන්ගතු කණ්ඩායම වන්නේ බල්ලන්ය. නිවසින් යන හාම්පුතා හෝ නිවසේ සාමාජිකයන් හෝ යළි නිවසට පැමිණෙන තූරු බලා සිටින්නේ බලු සුරතලුන්ය. නගුට කැඩෙනකල් වනමින් අප පිළිගන්නේ බලු සුරතලුන්ය. කෙඳිරි ගාමින් බුරමින්, ‘බලු භාෂාවෙන්’ අප සමඟ කතා කරන්නේ බලු සුරතලුන්ය.
බළල් සුරතලුන් ඊට හාත්පසින්ම වෙනස්ය. බළලුන් බොහෝ විට ‘පුරුපුරු’ ගාමින් අපට ළං වෙන්නේ උණුසුම පතාගෙනය. නැතිනම් කුසගිනි දැනුනු විටදිය. අප නිවසින් පිටවී යෑම හෝ ආපසු නිවසට පැමිණීම ගැන බළල් සුරතලුන්ගේ තැකීමක් නැති තරම්ය. බළල් සුරතලුන් හිතුවක්කාරය; මුරණ්ඩුය. ‘ඤාව්’ කියමින් ඔවුන් අපට ඔවුන්ගේ ආදරය පෙන්වන්නේ වෙනස්ම විදියකටය. මේ සටහන බළලුන් ගැනය. බළලුන් ගැන අප නොදන්නා දේ බොහොමය. විද්‍යාඥයෝ බළලුන්ගේ ජීවන රටා ගැන හැසිරීම් ගැන සුරතල් සතුන් ලෙස බළලුන් සහ මනුෂ්‍ය අපේ සබඳතා ගැන නිරන්තරයෙන් පර්යේෂණ සිදු කරති. එම පර්යේෂණවලින් හරි අපූරු දේ අනාවරණය වී ඇත. මේ සටහන ඒ විස්මිත අනාවරණ ගැනය.
විද්‍යාඥයන්ට අනුව නම් බළලුන් යනු අද්භූත ප්රහේලිකාවකි. බළලුන් යනු හරිහැටි තේරුම් ගැනීමට නොහැකි පිරිසකි. අද්භූත පෞරුෂය සහ අලංකාර පෙනුම මුල්කොට ගනිමින්, බළලුන් ඇදහිය නොහැකි තරම් ජනප්‍රිය සුරතල් සතුන් කණ්ඩායමන් බවට පත් වී හමාරය. අප මුලින් සිතුවේ බළලුන් හිලෑ වී නිවෙස්වල සුරතල් සතුන් බවට පත්වූයේ පුරාණ ඊජිප්තුවේ (මිසරයේ) පාරාවන්ගේ කාලයේ කියාය. එසේ සිතුවේ පුරාවිද්‍යා කැණීම්වලින් හමුවුණු සිතුවම්වල බළලුන් දකින්න ලැබුණු බැවිනි. ඒත් එය වැරදි බව 2004 දී තහවුරු විය. ඒ, සයිප්‍රසයෙන් වසර 9,500 ක් පැරැණි බළලකුගේ සොහොනක් හමුවීමෙනි. කැණීම් කරමින් එම සොහොන සොයා ගත්තේ ප්‍රංශ පුරා විද්‍යාඥයන් කණ්ඩායමකි. බළල් සොහොන හමුවීමෙන් තහවුරු වූයේ මිසර වැසියන් බළලුන් සුරතල් සතුන් ලෙස ඇති දැඩි කිරීමට වසර 4,000 කට පෙර ද බළලුන් සුරතල් සතුන් වූ බවය. බළලුන් සම්බන්ධයෙන් වැඩියෙන්ම පර්යේෂණ සිදුවී ඇත්තේ ප්‍රංශ විද්‍යාඥයන් අතිනි. බළලුන් ගැන අධ්‍යයන වාර්තා එළිදක්වා ඇත්තේ ද ප්‍රංශ විද්‍යාඥයන්ය.
බලු සුරතලුන්ට නම් දමයි. නම කතා කරද්දී ඔවුන් අප ළඟට දුව එයි. කුඩා කළ සිට නමක් නොදන්නා බල්ලන්නට ‘කූ-කූ-කූ’ කියයි. නැතිනම් ‘ඉජු-ඉජු’ කියයි. බළලුන්ට සාමාන්‍යයෙන් නම් දැමීමක් කරන්නේ නැත. පොදුවේ සෑම බළලකුම කිටියෙකි. අප බළලකුට ආමන්ත්‍රණය කරන්නේ ‘සේ-සේ’ හෝ ‘කිටී-කිටී’ කියමිනි. බළලුන්ට මෙසේ ආමන්ත්‍රණය කිරීම බටහිර වැසියන් හඳුන්වන්නේ ‘කැට්කෝල්’ catcall යනුවෙනි. ඉකුත් දා ප්‍රංශ විද්‍යාඥයන් පිරිසක් ‘කැට්කෝල්’ එසේත් නැතිනම් බළලුන් ආමන්ත්‍රණය කරන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කළ අතර එ් සම්බන්ධ අධ්‍යයන වාර්තාව ‘ගිස්මෝඩෝ’ වෙබ් අඩවියේ පළ කළේය. අප රටේ බළලුන්ට ‘සේ-සේ’ යනුවෙන් ආමන්ත්‍රණය කළත්, ප්‍රංශයේ, ඇමෙරිකාවේ, රුසියාවේ, ජර්මනියේ ආදී රටවල බළලුන් ‘සේ-සේ’ කීවාට උනන්දුවක් දක්වන්නේ නැත. ඒ ඒ රටවල බළලුන්ට ඒ ඒ විදියට ආමන්ත්‍රණය කළ යුතු වෙයි. රටින් රටට පළාතින් පළාතට ‘කැට්කෝල්’ වෙනස් වන ආකාරය සහ බළලුන් ඊට ප්‍රතිචාර දක්වන ආකාරය සම්බන්ධයෙන් පර්යේෂණයක් කළේ පැරිස් අගනුවර නැන්ත්රේ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් කණ්ඩායමකි.
බළලුන් ගැන රසවත් දේ බොහොමය. බළලුන් ඔවුන්ගේ ජීවිත කාලයේ වැඩිපුරම කරන්නේ නිදා ගැනීමය. විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට බළලකු එයාගේ ජීවිත කාලයෙන් සියයට 70 ක් නිදා ගනී. ඇලෙස්කාවේ බළල් පුරපතිවරයෙක් සිටියේය. තැඹිලි පැහැති ‘ස්ටබ්ස්’ නමැති මෙම බළල් සුරතලා වසර 20 ක් ඇලෙස්කාවේ ‘ටල්කීට්නා’ නගරයේ පුරපති ධුරය හෙබවූයේ නිතරගයෙනි. නෛතික බලයක් නොමැති වූ මෙම බළල් සුරතලා නගර වැසියන්ගේත් සංචාරකයන්ගේත් ආකර්ෂණයක් විය. සාමාන්‍යයෙන් නිවෙස්වල ඇතිදැඩි වන බළලුන් ප්‍රමාණයෙන් කුඩාය. ඒත් ලෝකයේ දිගම බළලා ලෙස ගිනස් වාර්තා අතරට ගියේ ‘ස්ටීවි’ නමැති බළල් සුරතලාය. හිසේ සිට වල්ගය කෙළවර තෙක් දිග අගල් 48.5 කි. උසම බළලා ලෙස ගිනස් වාර්තා අතරට එක් වී සිටින්නේ අගල් 19 ක් උස බළලෙකි. ලොව ධනවත්ව බළලකුත් සිටී. ‘බ්ලැකී’ නමැති මෙම බළල් සුරතලා ධනවතකු වූයේ බිලියනපති හාම්පුතා නිසාය. මේ හාම්පුතා පවුලේ අයට වඩා ආදරේ කළේ ‘බ්ලැකී’ ටය. එහෙයින් අවසන් කැමැති පත්‍රයේ ‘බ්ලැකී’ වෙනුවෙන් පවුම් මිලියන 7 ක මුදලක් වෙන් කළේය.
බළලුන් ඇවිදින විදිය හොඳින් නිරීක්ෂණය කර බලන්න. විද්‍යාඥයන් පවසන්නේ බළලුන් ඇවිදින්නේ ඔටුවන් සහ ජිරාෆ් සතුන් ඇවිදින ආකාරයට, එසේත් නැතිනම් පාද තබන ආකාරයට කියාය. ඒ, පළමුවෙන් දකුණු කකුල් පෙරට ඉන්පසු වම් කකුල් පෙරට ආදී වශයෙනි. විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට ඔටුවන් සහ ජිරාෆ් සතුන් ඇවිදින ආකරය ඉතාමත් සුවිශේෂීය. බළලුන් ද ඒ විදියට ඇවිදීම පුදුමාකාරය. හේතුව, වෙන කිසිම සතකු ඔටුවන් සහ ජිරාෆ් සතුන් මෙන් පාද තබා ඇවිදින්නේ නැත.
ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් ගැන කියද්දී මතකයට නැගෙන්නේ ඇපල් ගෙඩිය සහ ගුරුත්වාකර්ශණයයි. බටහිර රටවල, විශේෂයෙන් ඇමෙරිකාවේ බළලුන් සිටින නිවෙස්වල ප්‍රධාන දොරේ බළලුන්ට යන්න එන්න කුඩා දොරක් පහළින් ඇත. මෙය බළලා ඒ තුළින් රිංගා යද්දී ඇරුන වැහෙන එකකි. ‘කැට්ඩෝර්’ යනුවෙන් මෙය හැඳින්වෙයි. මේ ‘කැට්ඩෝර්’ නිපදවූයේ වෙන කවුරුවත් නොවෙයි; ශ්‍රීමත් අයිසෙක් නිව්ටන්ය. නිව්ටන් සිය පර්යේෂණ කටයුතු කළේත් නව නිපැයුම් කළේත් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයකු ලෙසය. විශ්ව විද්‍යාලයේ ඔහුට ඇලුම් කළ බළල් අම්මකු සහ පැටවුන් කීප දෙනකු සිටියේය. මේ බළල් අම්මා නිවුටන්ගේ කාමරයට පැමිණෙන්න දොර පහුරු ගාන්න පුරුදු විය. මෙය නිව්ටන්ට නිවිසැනසිල්ලේ වැඩ කිරීමට බාධාවක් විය. ඒ අනුව, දොරේ පහරින් කොටසක් ඉවත් කර බළල් අම්මාටත් පැටවුන්ටත් නිදහසේ ඇතුළට එන්නත් ආපසු යන්නත් කුඩා දොරක් සකස් කළේය. මෙම දොර අදත් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ නිව්ටන්ගේ කාමරයේ දකින්න ලැබේ.
වඳුරන් සහ බල්ලන් අභ්‍යවකාශයට ගිය බව අපි දනිමු. බළලකු ද අභ්‍යවකාශයට ගිය බව ඔබ දැන සිටියාද? ‘ඇස්ට්‍රො කැට්’ යන නමින් හැඳින්වුණු මෙම බළලා අභ්‍යවකාශයට යැවීම සිදුවූයේ 1963 ඔක්තෝබර් 18 වැනිදාය. ඒ, මිනිසුන් අභ්‍යවකාශයට යැවීම සඳහා අත්හදා බැලීමක් ලෙසය. මිසර වැසියන් (අතීත ඊජිප්තු වැසියන්) බළලුන්ට දේවත්වයක් ආරූඪ කර තිබුණි. ඉතිහාසඥ හෙරඩෝටස් ක්‍රි.පූ. 440 ලියූ ඉතිහාස වාර්තා අනුව, මිසර පවුලක සුරතල් බළලකු මියගියහොත්, පවුලේ සාමාජිකයන් ඇහි බැම බූ ගෑ යුතුය. ඒ, බළලා මියයෑමේ දුක වෙනුවෙනි. බළලුන් යනු වනාන්තරයේ දකින්න ලැබෙන මහ බළල් පවුලේ සාමාජිකයන් බව අමුතුවෙන් කිවයුතු නැත. සත්ව විද්‍යාඥයන්ට අනුව, නිවෙස්වල ඇති දැඩි කරන සුරතල් බළලුන්ගේ ජාන සියයට 95 ක් සමාන වන්නේ ව්යාඝ්රයන්ටය.
නිවෙස්වල සිටින බළල් සුරතලුන් වැඩි කාලයක් නිදා ගන්නා බව ඇත්ත. එහෙත් ඔවුන්ට පැයට කිලෝ මීටර් 30 ක වේගයකින් දුවන්න පුළුවන් බව විද්‍යාඥයෝ පවසති. උසේන් බෝල්ට් සමඟ මීටර් 200 තරගයකට ගියොත් පහසුවෙන් ම බෝල්ට් පරාජය කරන්න බළල් සුරතලාට හැකිවේවි. ලෝකයේ වයස්ගතම බළල් සුරතලා ලෙස සැලකෙන්නේ වසර 38 ක් සහ දින තුනක් ජීවත් වූ බළලෙකි. මහ සද්දෙට පුරුපුරු ගාන බළල් සුරතලා ලෙස ගිනස් වාර්තා අතරට එක් වී සිටින්නේ මර්ලින් නමැති එක්සත් රාජධානියේ ජීවත් වන බළලෙකි. මේ බළලාගේ පුරුපුරුව ඩෙසිබල් 67.8 කි. සාමාන්‍යයෙන් බළලුන්ගේ පුරුපුරුව ඩෙසිබල් 25 ට අඩුය. ගමන් කරද්දී එක් එක් බළලා තමන්ට ප්‍රිය කකුල ඉදිරියට තබා ගමන් කරන බව විද්‍යාඥයන් සොයාගෙන තිබේ. බැළලියන් බොහෝ විට ඉදිරියට තබන්නේ දකුණු කකුළය. බළලුන් ඉදිරියට තබන්නේ වම් කකුළය. බළලුන්ගේ කන්වල පමණක් මාංශපේෂීන් 32 කට වඩා ඇත. නොයෙක් නොයෙක් හඬ අතරින් තමන්ට අවශ්‍ය හඬ පමණක් තෝරා බේරා ගන්න බළලුන්ට හැකිය. කන් කරකවන්න උදවු වෙන්නේ ද මෙම මාංශපේෂීන්ය.
තවත් පුදුම කරුණක් වන්නේ ජෛව විද්‍යාත්මකව, බළලුන්ගේ මොළය සහ මිනිස් මොළය අතරේ සමානකම් පවතී. බළලකුගේ මොළය බල්ලකුගේ මොළයට වඩා මිනිස් මොළයට සමාන යැයි කීවොත් ඔබ පුදුම වේවි. ඒත් ඒ කතාව ඇත්තක් බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. මිනිසුන්ගේ මෙන් බළලුන්ගේ මොළයේ ද හැඟීම් දනවන කොටස් එකිනෙකට සමානය යැයි විද්‍යාඥයෝ පැහැදිලි කර දෙති. දකුණු ඇමෙරිකාවේ, එසේත් නැතිනම් ලතින් ඇමෙරිකා රටවල නිවෙස්වල ඇති කරන සුරතලුන් ලෙස බල්ලන්ටත් වඩා ජනප්‍රිය බළලුන්ය. එරට සුරතල් බළලුන් ගණන මිලියන 73 කි. බල්ලන් ගහනය මිලියන 63 කි. ‘සයමීස්’ බළලුන්ට සිරුරේ වර්ණය සුදු සහ දුඹුරු ආදී වශයෙන් වෙනස් කරගත හැකි බව පැවැසෙයි. ඒ, ශරීර උෂ්ණත්වයේ වෙනස්වීම් අනුවය. ‘සයමීස්’ බළලුන්ට සිරුරේ ඇල්බීනෝ ජාන අඩංගු වෙයි. අපේ ඇඟිලි සලකුණු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය. එකම ඇඟිලි සලකුණු ඇති දෙදෙනෙකු නොමැත. බළලුන්ගේ ඇඟිලි සලකුණු නැති. ඒත් ඔවුන්ගේ නාසය සුවිශේෂීය. නාසයේ ඇති සියුම් රටා එක් එක් බළලාට සුවිශේෂීය. අවසන් වශයෙන් කීමට ඇත්තේ බළලුන් සංගීතයට ඇලුම් කරන සුවිශේෂී සතුන් විශේෂයක් බවය. කුරුල්ලන් සේම, බළලුන් ද එකිනෙකට වෙනස් සුවිශේෂී ශබ්ද කරයි. ප්‍රංශ විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට බළලුන්ට නොයෙක් ශබ්ද 100 කට වඩා නැගිය හැකිය. බල්ලන්ට නැගිය හැක්කේ එකිනෙකට වෙනස් ශබ්ද 10 ක් පමණි.