බටර් චිකන් අයිතිය කාටද?
ඉන්දියාව ලොවට දායාද කළ ආහාර වර්ග බොහොමයක් ඇති අතර, බටර් චිකන් යනු ඒ අතරින් අංක එක යැයි කීවොත් එය නිවැරදිය. ඉන්දීය ක්‍රමයට පිළියෙළ කෙරෙන බටර් චිකන් සැබැවින්ම ප්‍රණීත ආහාරයකි. බටර් චිකන් ශ්‍රී ලංකාවේ අපට ද අරුමයක් නොවෙයි. ඉන්දියාවේ බටර් චිකන්වලට ප්‍රසිද්ධ හෝටලය වන්නේ දිල්ලියේ මෝති මහල්ය.
දිල්ලි යන්නේ නම්, ඔබ යා යුතුම ස්ථාන දෙකක් ලෙස සැලකෙන්නේ ටාජ් මහාල් සහ මෝති මහාල්ය. අද බටර් චිකන්, ඉන්දියාවේ පමණක් නොව, මුළු ලෝකයේම පුවත් මවන ආහාරයක් වී අවසන්ය. ඒ, බටර් චිකන් මුළුතැන්ගෙයින්, අධිකරණයට යෑමත් සමඟය. එසේ වූයේ බටර් චිකන් නිර්මාතෘ කවුරුන්දැයි යන ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් නොමැති බැවිනි.
ඒ, 1930 දශකයයි. සමස්ත ඉන්දියාව බ්‍රිතාන්‍ය පාලනයට යටත් වී තිබුණි. දූවිලිවලින් පිරුණු පෙෂාවර් නුවර කුඩා අවන්හලකි. මෙම අවන්හලේ නම මෝති මහාල්ය. අවන්හලේ හිමිකරු මොක්හා සිං ය. අවන්හලේ සේවය කළ මිතුරන් තිදෙනෙකි. කුන්දන් ලාල් ගුජ්රාල්, ඔහුගේ ඥාති සොහොයුරු කුන්දන් ලාල් ජග්ගි සහ ඨාකූර් දාස් මාගෝ ඔවුන් තිදෙනාය. කුන්දන් ලාල් ගුජ්රාල්, කුන්දන් ලාල් ජග්ගි, ඨාකූර් දාස් මාගෝ රසම රස තන්දූරි ආහාර පිළියෙළ කිරීමේ දක්ෂයෝ වූහ. බ්‍රිතාන්‍ය පාලනය අවසන් වෙද්දී ඉන්දියාව දෙකඩ බෙදුණේ, ඉන්දියාව සහ පාකිස්තානය ලෙසය. පෙෂවෝර් පාකිස්තානයේ නගරයක් වෙද්දී කුන්දන් ලාල් ගුජ්රාල්, කුන්දන් ලාල් ජග්ගි සහ ඨාකූර් දාස් මාගෝ පමණක් නොව, මොක්හා සිං ද ඉන්දියාවේ නවදිල්ලියට පැමිණියහ. ඉන්පසු කුන්දන් ලාල් ගුජ්රාල්, කුන්දන් ලාල් ජග්ගි, ඨාකූර් දාස් මාගෝ සහ මොක්හා සිං අතරේ සබඳතා ගිලිහිණි.
වසර කීපයකට පසු එක් දෛවෝපගත දිනයක, තැබෑරුම් පොළකදී, මොවුන් සිවුදෙනා යළි හමුවිය. දිල්ලියේ මෝති මහල් නමින් අවන්හලක් විවෘත කිරීමට, මොක්හා සිං කැමැති කර ගැනුණි. දිල්ලියේ මෝති මහල් අවන්හල කෙටි කලකින් ජනප්‍රිය විය. ඒ, එදා මෝති මහල් අවන්හලට පමණක් ආවේණික වූ බටර් චිකන් නිසාය. බටර් චිකන් කාගේත් ප්‍රියතම ආහාරයක් විය.
ඉන්දියාවේ පළමු අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරූ, මෝති මහල් අවන්හලේ බටර් චිකන්වලට වහ වැටුණු කෙනෙකි. බටර් චිකන් නේරුගේ ප්‍රියතම ආහාරයක් වූවා පමණක් නොව, විදෙස් රාජ්‍ය නායකයන් වෙනුවෙන් භෝජන සංග්‍රහ පවත්වද්දී, එම භෝජන සංග්‍රහවලට බටර් චිකන් අනිවාර්යයෙන් ඇතුළත් කිරීමට අග්‍රාමාත්‍ය නේරු කටයුතු කළේ යැයි පැවැසෙයි. ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වූ රිචඩ් නික්සන් පමණක් නොව, සෝවියට් නායක නිකොලායි බුල්ගානින් ද බටර් චිකන්වලට ප්‍රිය කළහ. බටර් චිකන් යනු ඉතාමත් ප්‍රණීත සරල කෑමකි; උකු හොද්දකි; ග්රේවියකි. ඉන්දියාවේ ක්‍රමයට, ඉන්දියාවේ කුළුබඩු භාවිතයට ගනිමින් පිළියෙළ කෙරෙන බටර් චිකන්වලට ඇත්තේ ඊට ආවේණික වූ ප්‍රණීත රසයකි. බටර් චිකන් ඉන්දියාවේත්, ලෝකයේත් ප්‍රණීත ආහාරයක් වීමට වැඩි කලක් ගත වූයේ නැත.
බටර් චිකන් නිර්මාතෘ කවුරුදැයි යන්න සැබැවින්ම ගැටලුවකි. දිල්ලියේ මෝති මහල් අවන්හලට අනුව, බටර් චිකන් නිර්මාතෘවරයා කුන්දන් ලාල් ගුජ්රාල්ය. එය බටර් චිකන් මෙන්ම රසවත් කතාවකි. දිනක්, පෙෂවෝර් නුවර මෝති මහල් අවන්හලේ තන්දුරි කුකුල් මස් ඉතිරි වී තිබුණි. ඒවා ඉවත දැමීම කළ නොහැකි විය. කළ යුත්තේ කුමක්දැයි කුන්දන් ලාල් ගුජ්රාල් කල්පනා කරන්නට විය. ඔහු වැඩිපුර බටර් එක්කර, අලුත් ආකාරයේ ග්රේවියක් (උකු හොද්දක්) පිළියෙළ කළේය. බටර් චිකන් උපත සිදුවූයේ එලෙසිනි. ඒ පළමු කතාවය.
කුන්දන් ලාල් ගුජ්රාල් (දකුණේ) සහ කුන්දන් ලාල් ජග්ගි
බටර් චිකන් නිර්මාතෘවරයා සහ බටර් චිකන් උප්පත්තිය සම්බන්ධයෙන් තවත් රස කතාවක් ඇත. එම කතාවට අනුව, බටර් චිකන් නිර්මාතෘවරයා කුන්දන් ලාල් ජග්ගිය. එම කතාව මෙසේය. බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා, ඉන්දියාව බෙදී, ඉන්දියාව සහ පාකිස්තානය යනුවෙන් රටවල් දෙකක් වෙද්දී, මුස්ලිම් නොවන බොහෝ දෙනකු පාකිස්තානයට අයත් වූ භූමියේ සිට ඉන්දියාවට පැමිණ ඇත. එසේ පැමිණි සරණාගතයන් බොහෝ දෙනකුට ආහාර පිසීම කළේ කුන්දන් ලාල් ජග්ගිය. බොහෝ දෙනකුට කෑමට කුකුල් මස් යොදා ගනිමින් හොද්දක් නිර්මාණය කිරීමට කුන්දන් ලාල් ජග්ගි කටයුතු කළේය. ඒ, වැඩිපුර බටර් එක් කරමිණි. දෙවැනි කතාවට අනුව, බටර් චිකන් උප්පත්තිය සිදුවූයේ එලෙසිනි.
මේ කතාන්දර දෙකෙන් බටර් චිකන් නිර්මාතෘ කවුරුන්දැයි යන්න තහවුරු කර ගැනීමට නොහැකිය. 1990 වසරේ දී මෝති මහල් අවන්හල බිහිකළ තිදෙනාම විශ්‍රාම ගියහ. ඔවුහූ අවන්හල විකුණා දැමූහ. (අද දිල්ලි මෝති මහල් හිමිකරුවන් වන්නේ එහි මුල් හිමිකරුවන් නොවෙයි.) කුන්දන් ලාල් ජග්ගිගේ මුණුපුරා, සීයාගේ උරුමය ආරක්ෂා කර ගැනීමේ අරමුණින්, ඩරියාගාන්ජ් නමින් අවන්හල් සමූහයක් ආරම්භ කළේ 2019 වසරේදීය. ඩරියාගාන්ජ් අවන්හල් පවසන්නේ, බටර් චිකන් නිර්මාතෘ කුන්දන් ලාල් ජග්ගි බැවින්, බටර් චිකන් අයිතිය තමන් සතු බවය. මෝති මහල් හිමිකරුවන් පවසන්නේ, බටර් චිකන් අයිතිය ඔවුන් සතු බවය. දුරදිග ගිය මෙම හුටපටය නැවැතුණේ නවදිල්ලි මහාධිකරණයෙනි. බ්‍රිතාන්‍ය පාලනයෙන් පසු ඉන්දියාව දෙකඩ විය. අද බටර් චිකන් නිසා ඉන්දියාවේ අවන්හල් දෙකක් දෙපිල බෙදි නඩු කියා ගනිති. ඉදිරියේ දී බටර් චිකන් නිර්මාතෘ කවුරුන්දැයි තීන්දු කරනු ඇත්තේ දිල්ලි මහාධිකරණයයි.
ඉන්දිය මාධ්‍ය ඇසුරිනි