බංග්ලාදේශය භාරගත් මොහොමඩ් යූනුස්



එය මොහොමඩ් යූනුස් අපේක්ෂා කළ දෙයක් නොවීය. ඇමතුම ලැබෙද්දී ඔහු සිටියේ ප්‍රංශයේය. යූනුස් ප්‍රංශයට ගොස්  සිටියේ වෛද්‍ය ප්‍රතිකාර සඳහාය. ඇමතුම ලැබුණේ ඔහුගේ මවු රටිනි. රැකියා කෝටාව සම්බන්ධයෙන් හටගත් අර්බුදය ඔඩුදුවා, ශිෂ්‍ය අරගලය උත්සන්න වී, දශක ගණනාවක් අග්‍රාමාත්‍ය ධුරයේ සිටි ෂෙයික් හසීනාට බලය අහිමි වී තිබුණා පමණක් නොවෙයි; ඇයට රටින් පලා යෑමට ද සිදුවී තිබුණි. අවුල් වියවුල් වූ බංග්ලාදේශය සාමකාමී කිරීමටත් ස්ථාවර කිරීමටත් අන්තර්වාර පාලනයක් අවශ්‍ය වී තිබුණි. ෂෙයික් හසීනා පන්නා දැමූ ශිෂ්‍ය අරගලකරුවන්ගේ ඉල්ලීම වූයේ අන්තර්වාර පාලනයක් පිහිටුවා එය මෙහෙයවීම යූනුස් විසින් කළ යුතු බවය. යූනුස්ට ඇමතුම ලැබුණේ ඒ අනුවය. “මම දැන් ගෙදර යන්නයි සූදානම් වෙන්නේ. මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා දැනගන්න පුළුවන් වෙන්නේ ආපසු ගියාට පසුවයි. සංවිධානය වෙලා, හටගත් අර්බුදයෙන් ගොඩයන්නේ කොහොමද අපි කල්පනා කළ යුතුයි.” ප්‍රංශයෙන් පිටවීමට පෙර, මෙහෙයවීම යූනුස් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය. යළි බංග්ලාදේශයට පැමිණි 84 හැවිරිදි මොහොමඩ් යූනුස් පසුගියදා අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස දිවුරුම් දුන්නේය.

නොබෙල් ත්‍යාගලාභියකු ද වන මොහොමඩ් යූනුස්ගේ නායකත්වයෙන් පිහිටුවූ අන්තර්වාර රජයේ, නව පාලක මණ්ඩලයට 17 දෙනෙක් සමන්විත. ආරක්ෂක අමත්‍යාංශය, මුදල් අමත්‍යාංශය ඇතුළු රටේ වැදගත් අමත්‍යාංශ සියල්ල මොහොමඩ් යූනුස් යටතේ පවතී. ශිෂ්‍ය අරගලයට නායකත්වය දුන් ශිෂ්‍යයන් දෙදෙනකු ද අන්තර්වාර රජයට එක් වී සිටීම විශේෂත්වයකි. නහීද් ඉස්ලාම් සහ අසීෆ් මහමුද් යනු එම ශිෂ්‍යයන් දෙදෙනාය. නහීද් ඉස්ලාම්ට තැපැල්, විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය ද, අසීෆ් මහමුද්ට යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශය ද පිරිනමා ඇතැයි පැවැසෙයි. 26 හැවිරිදි නහීද් ඉස්ලාම් සහ අසීෆ් මහමුද් නව අන්තර්වාර රජයේ ළාබලතම උපදේශකයන් දෙදෙනා යැයි ද බංග්ලාදේශ මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. පසුගිය කාලයේ හසීනාගේ රජයේ රැකියා කෝටාවට එරෙහිව විරෝධතා සංවිධානය කිරීම සහ උද්ඝෝෂණ පැවැත්වීම හේතුවෙන් මොවුන් දෙදෙනා නිරන්තරයෙන් පහර කෑම්වලට ලක් වුණු බවත්, සිරදඬුවම් හිමිවුණු බවත් පැවැසෙයි. “කාටවත් හිංසා කරන්න එපා. හිරිහැර කරදර කරන්න එපා. එහෙම කරනවා නම්, මං අන්තර්වාර රජයෙන් ඉවත් වෙනවා” යැයි මොහොමඩ් යූනුස් ශිෂ්‍ය විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා ඇති අතර, මේ වනවිට බංග්ලාදේශය සෙමින් සෙමින් යථා තත්ත්වයට පත්වන බවක් පෙනෙයි. එහෙත් බංග්ලාදේශයේ අනාගතය තවමත් අවිනිශ්චිතය. මොහොමඩ් යූනුස් බාර ගත්තේ විශාල අභියෝගයකි. නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ, ආර්ථික විශේෂඥයෙකු සහ බැංකුකරුවකු ද වන යූනුස්ට එම අභියෝගය ජය ගැනීමට හැකිවේවිදැයි යන්න ගැටලුවකි.

මොහොමඩ් යූනුස් උපත ලැබුවේ බංග්ලාදේශයේ ගිනිකොන දෙසින් පිහිටි චිතගොං නගරයේදීය. ඒ, 1940 වසරේය. එදා, ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයකි. ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය යනුවෙන් රටවල් බෙදී වෙන්වී තිබුණේ නැත. යූනුස් අධ්‍යාපනය ලැබුවේ ඩකා විශ්ව විද්‍යාලයෙනි. ඔහු දීප්තිමත් ශිෂ්‍යයකු විය. ඒ නිසාම වැඩිදුර අධ්‍යාපනය සඳහා පූර්ණ ශිෂ්‍යත්වයක් ඔහුට හිමිවිය. ඔහු ඇමෙරිකාවට ගියේය. එහිදී ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් උපාධිය හිමිකර ගත්තේය. ඔහු ටෙනිසී ප්‍රාන්තයේ ගුරුවරයකු ලෙස රැකියාව කරද්දී, බංග්ලාදේශය නිදහස වෙනුවෙන් අරගලයක නියැළුණි.‍ 1971 වසරේදී බංග්ලාදේශයට නිදහස හිමිවිය. එතෙක් බංග්ලාදේශය හැඳින්වූයේ නැගෙනහිර පාකිස්තානය යනුවෙනි. බංග්ලාදේශය පාකිස්තානයේ කොටසක් වී තිබුණි. බංග්ලාදේශය නිදහස හිමිකර ගත්තේ මහා ලේ වැගිරීමකින් පසුවය.

නිදහස ලබා බංග්ලාදේශය බවට පත්වුණු රට ගොඩනැගීම කළ යුතු විය. එහි කොටස්කරුවකු වීමට යූනුස්ට අවශ්‍ය විය. ඔහු ඔහුගේ උපන් රට බලා පැමිණියේය. චිතගොං විශ්ව විද්‍යාලයේ ආර්ථික අංශ ප්‍රධානියා බවට පත් විය. 1974 දී බංග්ලාදේශය සාගතයකට මුහුණ දුන්නේය. මිලියන 1.5 ක් අන්ත අසරණ විය. සාගින්නේ පීඩාවට පත්වුණු දුප්පත් වැසියන්ට ආර්ථික උපදෙස්වලින් ඵලක් නොවන බව යූනුස්ට අවබෝධ විය.  දිනක් චිතගොං නගරයේ සිය නිවසේ සිටිද්දී, අසල දිළිඳු ගම්මානයක කාන්තාවක මොහොමඩ් යූනුස් හමුවීමට පැමිණියාය. ඇය උණ බට පතුරු යොදා ගනිමින් කුඩා බංකු නිර්මාණය කරන තැනැත්තියකි. යූනුස් ඇයට මුදල් දුන්නේ ඇයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහාය. එම මුදල ඇමෙරිකන් ඩොලර් පහකි. කැමති දවසක ආපසු මුදල් දෙන්නැයි යූනුස් ඇයට කීවේය. එම කාන්තාව ඒ බව ගම්මානයේ අනෙක් කාන්තාවට පැවැසූ පසු ඔවුහු ද යූනුස්ගෙන් ණය ගැනීමට පැමිණියහ. ඔහු ඇමෙරිකන් ඩොලර් 27 ක් තරම් මුදලක් කාන්තාවන් හතළිස් දෙදෙනකුට ණය ලෙස ලබා දුන් අතර, සෑම කාන්තාවක්ම, ලබා ගත් ණය මුදල් ආපසු යූනුස්ට දුන් බව ද පැවැසෙයි. ක්ෂුද්‍ර ණය දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මොහොමඩ් යූනුස්ට සිතුවිල්ලක් ඇති වූයේ ඒ අනුවය.

බැංකු ණය ලබා ගැනීමට සුදුසුකම් නැති දිළිඳු වැසියන් වෙනුවෙන් ක්ෂුද්‍ර ණය ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කෙරුණි. 1998 වසරේ දී මොහොමඩ් යූනුස්, ග්‍රාමීන් බැංකු ක්‍රමය ආරම්භ කළේ ඒ අනුවය. ඩොලර් බිලියන 37 ක ණය මුදල්, මිලියන 10 කට වැඩි බංග්ලාදේශ වැසියන්ට ලබා දීම සිදුවිය. ඔවුන්ගේ ජීවන තත්වය උසස් කෙරුණි. ණය ආපසු ලැබීම, ප්‍රතිශතයක් ලෙස සියයට 97 කි. ග්‍රාමීය බැංකු ව්‍යාපෘතිය සාර්ථක වූ අතර, එය ජාත්‍යන්තරයේ ද අවධානය දිනා ගත්තේය. සංවර්ධනය වෙමින් පවතින රටවල් 100 ක ග්‍රාමීය බැංකු සංකල්පය යටතේ බැංකු ආරම්භ විය. 2006 දී යූනුස් සහ ග්‍රාමීය බැංකු සංකල්පයට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුණි. ක්ෂුද්‍ර මූල්‍යකරණයේ පුරෝගාමීන් වූයේ  මොහොමඩ් යූනුස් සහ ග්‍රාමීන් බැංකුවය. “නෝර්වීජියානු නොබෙල් කමිටුව අප ඇගයීමට ලක් කළා. සාමය කියන දේ ඉතා දැඩිව බද්ධ වෙලා තියෙනවා දරිද්‍රතාව සමඟ. දරිද්‍රතාව කියන්නේ සාමයට තර්ජනයක්.” යැයි නොබෙල් සාම ත්‍යාගය හිමිකර ගනිමින් එදා එනම් 2006 දී මොහොමඩ් යූනුස් පෙන්වා දුන්නේය.

මොහොමඩ් යූනුස් බටහිර රටවල පිළිගැනීමට ලක්වුණු චරිතයක් බවට පත්වූයේ ඉන් පසුවය. බැරැක් ඔබාමා, ජනාධිපති ධුරය හොබවද්දී, ඔබාමා අතින් ධවල මන්දිරයේදී, නිදහස සඳහා කළ මෙහෙවර ඇගයීමට ලක් කරමින් මොහොමඩ් යූනුස්ට ජනාධිපති පදක්කම පිරිනැමීම සිදුවිය. ඒ, 2009 වසරේදීය. 2010 දී ඇමෙරිකන් කොංග්‍රසය පිරිනැමූ රන් සම්මානයෙන් ද මොහොමඩ් යූනුස් පිදුම් ලැබීය. යූනුස් බටහිර හිතවාදියකු බව රහසක් නොවෙයි. මොහොමඩ් යූනුස්ට විවේචන එල්ල කළ පිරිසක් ද වූහ. ක්ෂුද්‍ර ණය ව්‍යාපෘතිවල පොලිය වැඩි බැවින් දිළිඳු ජනතාව සූරාකනවා යැයි චෝදනා නැගුණි. එසේ චෝදනා නැගූ එක් තැනැත්තියක වන්නේ ෂෙයික් හසීනාය. දිළින්දන්ගේ ලේ උරා බොනවා යැයි හසීනා, මොහොමඩ් යූනුස්ට චෝදනා නගා තිබේ. 

2007 වසරේදී බංග්ලාදේශ හමුදාව රටේ බලය අල්ලා ගත්තේය. ඒ දේශපාලනික වශයෙන් රට අස්ථාවර වෙද්දීය. භාරකාර අග්‍රාමාත්‍යවරයා වෙන්නැයි හමුදාව, යූනුස්ගෙන් ඉල්ලා සිටියේය. යූනුස් එය ප්‍රතික්ෂේප කළේය. ඒත් 2011 වසරේ දී පමණ දේශපාලනයට පිවිසීමට යූනුස් තුළ උනන්දුවක් විය. ඒ, ෂෙයික් හසීනාගේ අවාමි ලීගටයත්, කලීඩා ෂියාගේ ජාතික පක්ෂයටත් අභියෝග කළ හැකි තෙවැනි බලවේගයක් බවට පත් වෙමිනි. එය ෂෙයික් හසීනාගේ දැඩි විරෝධයට හේතුවක් විය. ඇය, යූනුස් ද්‍රෝහියකු ලෙස හැඳින්වීමට පටන් ගත්තාය. සැලැසුම් කළත් යූනුස් දේශපාලන පක්ෂයක් පිහිටුවූයේ නැත. එය හුදෙක් සිතුවිල්ලක් පමණක් විය. ඒත් එදා සිට හසීනා සමඟ හටගත් විරසකය දිනෙන් දින ඔඩුදුවන්න පටන් ගත්තේය. “ඔව්, මට ඕනෑ වුණා තමයි දේශපාලන පක්ෂයක් පිහිටුවන්න. මම ඒක සැලැසුම් කළා. පක්ෂයක් පිහිටුවන්න සිතීම සහ සැලැසුම් කිරීම වරදක් නොවෙයි. ඒත් මා වරදකාරයකු වුණා. මා අපරාධකරුවකු වුණා. ඒ විදියට චෝදනා එල්ල වෙද්දී මා ඒ අදහස අත්හැර දැම්මා. පක්ෂයක් පිහිටුවීම සිද්ධ වුණේ නැහැ” යැයි යූනුස් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැහැදිලි කර තිබේ.

2011 වසරේ, දේශපාලන පක්ෂයක් පිහිටුවීමට යූනුස් සැලැසුම් කිරීමෙන් පසු, එදා ෂෙයික් හසීනාගේ රජය, ඔහු බංග්ලාදේශ ග්‍රාමීය බැංකුවේ මුල් පුටුවෙන් ඉවත් කළේය. ඒ, ඔහුගේ විශ්‍රාමික වයස් සීමාව ඉක්මවා ඇතැයි පවසමිනි. යූනුස්ට චෝදනා පිට චෝදනා එල්ල වීමට පටන් ගත්තේ ඉන්පසුවය. මූල්‍ය වංචා, මුදල් විශුද්ධිකරණය ආදී චෝදනා ඒ අතර විය. නඩු විභාග ඇරැඹිණි. මෙම 2024 වසරේ ජනවාරියේ යූනුස්ට එරෙහිව නඩු තීන්දු ප්‍රකාශයට පත් කෙරුණි. මාස 6 ක් සඳහා සිරදඩුවම් නියම කෙරුණි. එසැණින්, ඔහුට ඇප හිමිවිය.  ෂෙයික් හසීනා යළි බලයට පත්වුණු බංග්ලාදේශ මහ මැතිවරණය පැවැත්වූයේ ද මෙම වසරේ ජනවාරියේය. ෂෙයික් හසීනාගේ රජයක් යටතේ සර්ව සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බව පවසමින්, විපක්ෂය මැතිවරණයට ඉදිරිපත් වූයේ නැත. එහෙයින් මැතිවරණය තනි අශ්වයකුගේ රේස් එකක් විය. හසීනාට පහසුවෙන් ජය හිමිවිය. රැකියා කෝටාව සම්බන්ධයෙන් අර්බුදය උත්සන්න වී, ශිෂ්‍ය විරෝධතා හටගත්තේ ඉන්පසුවය. ෂෙයික් හසීනා ගෙදර යවා, මොහොමඩ් යූනුස් බංග්ලාදේශයේ අන්තර්වාර පාලකයා බවට පත් වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS