ඊජිප්තුවෙන් හමුවුණු බැටලු හිස්
දකුණු ඊජිප්තුවේ, කැණීම් කරද්දී, ඊජිප්තු සහ ඇමෙරිකන් පුරාවිද්‍යාඥයන්ට හරි අපූරු දෙයක් හමුවිය. ඔවුන්ට හමුවූයේ මමීකරණය කළ බැටලු ඔළු 2,000 ක් සහ තවත් සතුන්ගේ සිරුරුය. මෙම සොයා ගැනීම මාධ්‍ය හරහා ලොව පුරා ප්‍රසිද්ධියට පත්විය. බැටලු ඔළුවලට අමතරව, බල්ලන්, එළුවන්, ගවයන්, ගැසෙල් මුවන් සහ මුගටියන්ගේ ද මමීකරණයට ලක් කළ සිරුරු පුරාවිද්‍යාඥයන්ට හමුවී තිබුණි. මෙම සොයා ගැනීම ලොවට අනාවරණය කළේ ඊජිප්තු සංචාරක කටයුතු සහ පුරාවිද්‍යා අමාත්‍යාංශයයි.
ඊජිප්තු පුරාවිද්‍යාඥයන්ට අමතරව මෙම සොයා ගැනීමට දායක වූයේ ඇමෙරිකාවේ නිව්යෝක් විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යාඥයන් කණ්ඩායමකි. මොවුන්ට මෙම බැටලු ඔළු හමුවූයේ දකුණු ඊජිප්තුවේ ඇබිඩෝස් පළාතේ සිදු කළ කැණීමකදී හමුවුණු නටබුන් වූ දේවාලයක් තුළිනි. මෙම දෙවොල දෙවැනි රැම්සීස් පාරාවන් වෙනුවෙන් ඉදි කරන ලද්දක් බවත්, දෙවැනි රැම්සීස් පාරාවන් මියයෑමෙන් පසු තවත් වසර 1,000 ක් ඔහු වෙනුවෙන් පුද පූජා ලෙස මෙම බැටලු ඔළු සහ අනෙක් සතුන්ගේ සිරුරු මමීකරණය කර දෙවොලේ තැන්පත් කර ඇති බවත් පුරාවිද්‍යාඥයෝ පැහැදිලි කරති. පුරාණ දේවාල සහ සොහොන් ගෙවල්වල නටබුන් බහුලව දකින්න ලැබෙන ප්‍රදේශයක් ලෙස ඇබිඩෝස් පළාත සැලකිය හැකිය.
‘ඇත්තටම මේක වටිනා වැදගත් සොයා ගැනීමක්. මීට කලින් සතුන්ගේ මමීකරණ සිරුරු පුරාවන්ට අයත් දේවාල සහ සොහොන් ගැබ්වලින් හමුවී තිබෙනවා. ඒත් මේක තරමක් වෙනස්. දෙවැනි රැම්සීස්ට අනුගාමිකයන් කණ්ඩායමක් සිටි බව පැහැදිලියි. රැම්සීස්ගේ මරණින් පසු අවුරුදු දහස් ගණනක් යනතුරු ඔහු වෙනුවෙන් එම අනුගාමිකයන් පුද පූජා පැවැත්වීමක් කර තිබෙන බව මෙයින් පැහැදිලි වෙනවා.’ යැයි සොයා ගැනීමට සම්බන්ධ වූ ඇමෙරිකන් පුරාවිද්‍යාඥ කණ්ඩායමේ නායක සමේෂ් ඉෂ්කන්දර් පැහැදිලි කර තිබේ. දෙවැනි රැම්සීස්ගේ රාජ්‍ය කාලය ක්‍රි.පූ. 1304 සිට 1237 තෙක් පැවැතිණි.
මමීකරණය කළ බැටලු ඔළු සහ අනෙකුත් සත්ව සිරුරු හමුවී ඇත්තේ අඩි 16 ක් ඝනකම් කුටියක් තුළිනි. මෙම කුටිය දේවාලයට සහ රජ මාලිගයට සම්බන්ධ වී තිබෙන්න ඇතැයි ඊජිප්තු පුරාවිද්‍යා කටයුතු ප්‍රධානී මුස්තාෆා වසීරි පවසයි. පුරාණ ගස්වල කොටස්, හම් ඇඳුම් සහ පාවහන් ආදිය ද කැණීම්වලින් සොයා ගැනීමට හැකි වී තිබේ. ඇබිඩෝස් පළාත ඇත්තේ කයිරෝ අගනුවර සිට කිලෝ මීටර් 435 ක් දුරින් නයිල් නදිය අසබඩය.
ඊජිප්තුවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේ සංචාරක කර්මාන්තයයි. ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තය පසුගිය කාලයේ බිඳ වැටුණි. එය, මිලියන 105 ක ජනගහනයක් වෙසෙන ඊජිප්තුව ආර්ථික අර්බුදයකට ඇද දැමීමට හේතු විය. එහෙයින්, ඓතිහාසික වශයෙන් සහ විද්‍යාත්මක වශයෙන් සිදුවන සෑම පුරාවිද්‍යාත්මක සොයා ගැනීමක් ම, දේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථිකමය වශයෙන් ද ඊජිප්තුවට ලොකු ශක්තියකි. මෙම නව සොයා ගැනීම සංචාරක ආකර්ෂණයට හේතුවක් වේවි යැයි පැවැසෙයි. සොයා ගත් මෙම බැටලු ඔළු ඇතුළු සෙසු කෞතුක භාණ්ඩ කයිරෝ කෞතුකාගාරයට යැවීමටත්, ඒවා එහි ප්‍රදර්ශනයට තැබීමටත් නියමිතව ඇත.
පුරාණයේ ඊජිප්තුව හැඳින්වූයේ ‘මිසරය’ යනුවෙනි. ‘මිසරයේ රජවරුන්’ යනු ‘පාරාවන්’ ය. ඊජිප්තුවේ කයිරෝ අගනුවර සිට කිලෝ මීටර් 18 ක් දුරින්, ගීසා නිම්නයේ ඇති, පුරාණ පුදුම හතට අයත්, තවමත් නොනැසී පවතින ‘පිරමීඩ’ ඊජිප්තුවේ මහිමයයි. ඊජිප්තුවේ ප්‍රධානතම සංචාරක ආකර්ෂණයයි. පිරමීඩ යනු සොහොන් ගෙවල්ය. පාරාවන් ගැනත්, පුරාණ ඊජිප්තුව ගැනත් කතා කරද්දී පිරමීඩ අමතක කළ නොහැකිය.
පිරමීඩවලින් රජ පෙළපත් තුනක අභිමානය ලොවට පෙන්නුම් කෙරේ. ක්‍රි.පූ. 26 වැනි සියවස, එනම් මීට අවුරුදු 4600 කට පෙර පැවති සියවස, මිසර සංස්කෘතික දියුණුවේ උච්චම අවස්ථාව ලෙස සැලකෙයි. එම කාලයේ පාරාවන් (රජවරුන්) ලෙස කටයුතු කළේ කූෆුල ඔහුගේ පුතු කාෆ්රේ සහ මුණුපුරු සැන්කුරේ ය. රජ පවුල්වල සෙසු සාමාජිකයන්ගේ දේහයන් වෙනුවෙන් මෙම පිරමීඩ අසළ කඩා දේවාල සහ සොහොන් ගෙවල් ඉදි කර තිබේ. මේවා ද පුරා විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබ ඇත. ගීසා නිම්නයේ පිරමීඩ ත්‍රිත්වය ඉපැරණි ලෝක පුදුම 7 ට ඇතුළත් කළේ ග්‍රීක ජාතිකයන් බව පැවැසෙයි.
මරණින් පසු මතු ආත්මයේදී, ආත්මය සිරුර හා එක්වන බව මිසර වැසියෝ විශ්වාස කළහ. පාරාවන්ගේ සිරුරු මමීකරණය කළේ එහෙයිනි. සතුන්ගේ සිරිරු ද මමීකරණය කළේ ඔවුන්ට ද පාරාවන් සමඟ මතු ආත්මවලදී එක් විය හැකි යැයි විශ්වාස කළ බැවිනි. සිරුරේ වැදගත් ඉන්ද්‍රීයන් විජලනය වීම වේගවත් කරමින් නැට්‍රොන් ලුණුවල බහාලමින් සුරක්ෂිතව කුඩා බඳුන්වල තැන්පත් කෙරුණි. මළසිරුරු ලිනන් රෙදි පටිවලින් දෙපතුළේ සිට හිස දක්වාම හොඳින් වෙලීම සිදු කෙරුණි. මිසර වැසියන්ගේ විශ්වාසය, මරණින් පසු මිනිසාගේ ආත්මය ඉන් ඉවත් ව සක්වළ චාරිකාවක යෙදෙන බවය. සමහර පිරමීඩවල ඇතුළේ ඇති පඩි පෙළවල් හා ඇතුළු මාර්ග තරුවල හා සූර්යගේ ගමන් මාර්ග එල්ල කර ගෙන තනා ඇති බවට විශ්වාස කෙරුණි. ලක්සෝර්හී රජුන්ගේ නිම්නයේ ඉදිකර ඇති 6 වන රැම්සීස් පාරාවන්ගේ සොහොන් ගැබ තුළ නිර්මාණය කර ඇති චිත්‍රවලින් මේ බව තේරුම් ගත හැකිය. ඒ පාරාවන්ගේ ආත්මය සිරුරෙන් ඉවත්ව පියාපත් ලබා අහසින් යන බව දැක්වෙන චිත්‍රයකුත් මේ චිත්‍ර අතර තිබේ. පුරාණ මිසර වැසියන්ගේ හිරු දෙවියන් හැඳින්වෙන්නේ ‘රා’ කියාය. පුරාවිද්‍යාඥයින් සහ ජෝතීර්වේදීන් කළ සොයා බැලීම් හා පර්යේෂණ අනුව ඔවුන් පැහැදිලි කර ඇත්තේ හිරු, සඳු සහ අනෙක් ග්‍රහලෝක සහ පිරමීඩ අතරේ සම්බන්ධයක් ඇති බවය. ඔවුන් පවසන පරිදි පාරාවන් පිරමීඩ නිර්මාණය කිරීමට පෙලඹුණේ ඔවුන්ගේ හිරු දෙවියන් වන ‘රා’ වන්දනාමාන කිරීමේ අරමුණක් ද ඇතිව කියාය.
බීබීසී ඇසුරිනි