ඉරාන ඊශ්‍රායල විරසකය



අද පසමිතුරන් වුවත්, ඉරානයත් ඊශ්‍රායලයත් අතීතයේ සමීපතම මිතුරෝ වූහ. 1925 වසරේ සිට, 1979 වසරේ ඉරාන විප්ලවය තෙක්, ඉරානයේ පැවැතියේ රාජ පාලනයකි. (පර්සියන් භාෂාවට අනුව ෂා යනු රජුය. රජුන්ගේත් රජුය.) ඉරාන ඊශ්‍රායල මිතුදම් ශක්තිමත් ලෙස පැවැතියේ, ඉරානයේ ෂා පාලනයක් පැවැති කාලයේය. 1948 වසරේ දී, පලස්තීන පාලන ප්‍රදේශය දෙකඩ කර, ලොව එකම යුදෙව් රාජ්‍යය ලෙස ඊශ්‍රායලය බිහිවෙද්දී, ඊශ්‍රායලය නිල වශයෙන් පිළිගනිමින්, ඊශ්‍රායලයට පළමුවෙන්ම සහාය දැක්වූ දෙවැනි මුස්ලිම් රට වූයේ ඉරානයයි. ඊශ්‍රායලය නිල වශයෙන් පිළිගත් පළමු මුස්ලිම් රට තුර්කියයි.

බ්‍රිතාන්‍ය පාලනයෙන් පසු පලස්තීන භූමියේ පාලනය කෙසේ වියයුතුදැයි තීරණය කිරීමට, 1947 දී, එක්සත් ජාතීන්ගේ විශේෂ කමිටුවක් පත් කෙරුණු අතර, ඊට සාමාජික රටවල් 11 අයත් විය. එයින් එක් රටක් වූයේ ඉරානයයි. එදා පලස්තීන භූමිය දෙකඩ කිරීමට ඉදිරිපත් වුණු යෝජනාවට විරුද්ධව ඡන්දය පළ කළ රටවල් තුනෙන් එක් රටක් වූයේ ද ඉරානයයි. පලස්තීන භූමියට දෙකඩ කිරීම මැදපෙරදිග කලාපයේ දීර්ඝ කාලීන අර්බුදයක් නිර්මාණය වනු ඇති බවත්, පරම්පරා ගණනාවක් එයින් පීඩාවට පත්වනු ඇති බවත් එදා මුලින්ම ලොවට හඬ ගා කීවේ ඉරානයයි.

ඒ අනුව, ඉරානය විකල්ප සැලැස්මක් ඉදිරිපත් කළේ ඉන්දියාවත්, එවකට පැවැති යුගොස්ලොවේකියාවත් සමඟ එක් වෙමිනි. පලස්තීනය එක් පාර්ලිමේන්තුවක් සහිත රාජ්‍යයක් ලෙස තබා ගනිමින්, අරාබි සහ යුදෙව් ප්‍රජාව සඳහා වෙන් වෙන්ව පළාත් ලබා දී ෆෙඩරල් බලය පැවැරීම එම විකල්ප සැලැස්ම විය.

කෙසේ නමුත් එය අසාර්ථක වූ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුමත කළ ප්‍රමාණයට වඩා වැඩි භූමි ප්‍රදේශයක් ඊශ්‍රායලය විසින් අත්පත් කර ගනු ලැබීය. 1948 පළමු අරාබි ඊශ්‍රායල යුද්ධයේ ආරම්භය ඒ අනුව සිදුවිය. ඊශ්‍රායලය නිල වශයෙන් පිළිගැනීමට පියවර ගත්තේ ඉරානයේ දෙවැනි ෂා - මොහමද් රේසා පහ්ලවී රජු ය. 1948 දී ඊශ්‍රායලය බිහි වීමෙන් පසු පලස්තීන මුස්ලිම් වැසියන්ට කෙණෙහිලිකම් ආරම්භ විය.

1951 වසරේ දී මොහොමඩ් මොසාඩෙග් ඉරානයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු, බ්‍රිතාන්‍යය විසින් ඒකාධිකාරී කරන ලද ඉරානයේ තෙල් කර්මාන්තය ජනසතු කළේය. අග්‍රාමාත්‍ය මොසාඩෙග්, ඊශ්‍රායලය සමඟ සබඳතා අත්හැර දැමීමට තීරණය කළේය. ඒ, ඊශ්‍රායලය කලාපීය වශයෙන්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල අවශ්‍යතා ඉටු කරන බවට දොස් නගමිණි.

1953 දී බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකන් බුද්ධි අංශ මෙහෙයවූ කුමන්ත්‍රණයකින් මොහොමඩ් මොසාඩෙග් බලයෙන් නෙරපා දැමුණි. බටහිර හිතවාදී ෂා පාලනයක් යළි ඉරානයේ ඇතිවිය. ඉරාන සහ ඊශ්‍රායල තානාපති සබඳතා ආරම්භ විය. දෙරට අතරේ වෙළඳ සබඳතා වර්ධනය වූ අතර ඉක්මනින්ම ඉරානය ඊශ්‍රායලය සඳහා ප්‍රධාන තෙල් සපයන්නෙකු බවට ද පත් විය. ඉරානයේ තෙල් යුරෝපයට යැවීහ ඊශ්‍රායලය හරහා සිදු විය.

1979 දී ඉරාන විප්ලවයෙන් පසු ෂා බලයෙන් නෙරපා දැමුණු අතර, ඉරාන රාජවංශයේ අවසානය සනිටුහන් විය. ඉරානය ඉස්ලාමීය ජනරජයක් බවට පත් වූයේ විප්ලවයේ නායකයා වූ අයතුල්ලා රුහොල්ලා කොමේනි යටතේය. අයතුල්ලා රුහොල්ලා කොමේනි ඉරානයේ උත්තරීතර නායකයා බවට පත්වූයේ ඉස්ලාම් දහම වෙනුවෙන් පෙනී සිටිමින්, නව ලෝක දර්ශනයක් හඳුන්වා දෙමිනි. පලස්තීන මුස්ලිම් වැසියන්ට එරෙහිව එල්ල වුණු කෙණෙහිලිකම්වලට එරෙහිවත් ඊශ්‍රායලයට එරෙහිවත් ඉරානය නැගී සිටියේය. ඇමෙරිකාව සාතන් ලෙසින් ද ඊශ්‍රායලය කුඩා සාතන් ලෙස ද හැඳින්වීමට ඉරානය කටයුතු කළේය. ඉරානයත් ඊශ්‍රායලයත් අතරේ එදිරිවාදිකම් ඇතිවිය. ඉරානයේ පරම සතුරා බවට ඊශ්‍රායලය පත් විය.

එදා සිට තවමත්, යුදෙව් ඊශ්‍රායලය, මුස්ලිම් පලස්තීනුවන්ට සිදු කරන කෙණෙහිලිකම්වලට එරෙහිව ඉරානය නැගී සිටී. පලස්තීන අර්බුදය දශක ගනනාවක් තිස්සේ ඉරාන ඊශ්‍රායල සතුරුකම්වල කේන්ද්‍රය වී ඇත. ඊශ්‍රායලයේ ප්‍රධාන මිතුරා ඇමෙරිකාවන වන අතර, ඊශ්‍රායලයට කොන්දේසි විරහිතව සහාය පළ කිරීමට ඇමෙරිකාව සැදී පැහැදී සිටී. ඉරානය සහ ඇමෙරිකාව අතර නොහොඳ නෝක්කඩු පවතින්නේ මේ නිසාය. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් බව ඊශ්‍රායලයට පෙන්වා දී ඇති බැවින්, ඇමෙරිකාව ඉරානයට ඒ සම්බන්ධයෙන් සම්බාධක පනවා තිබේ. ඇමෙරිකන් සම්වබාධක හමුවේ වුවත් ඉරානය නැගී සිටී. ඉරානයට, ලෝක බලවතුන් දෙදෙනා වන චීනයෙත් රුසියාවේත් සහාය නොඅඩුව හිමිවෙයි.

(අල් ජසීරා ඇසුරිනි)


RECOMMEND POSTS