ට්‍රැක්ලන්තය - රටේ අනාගතේ ලෙෆ්ට්
ට්‍රැක්ලන්තයේ ට්‍රැක්වාසීන් නැව ගිලුනත් බෑං චූන් විදිහට හිටියත් වර්තමානයේ රටේ අනාගතය බාරගන්න ඉන්න ඇච්චෝ ටික යන අත දැක්කම අනේ අනිච්චං සංසාරේ කියලා හිතෙනවා. ඇත්තටම අර කියන්නත් වගේ සුනාමියෙන් පස්සේ ඉපදුන බහුතර ළමා ලපටි හරිම අමුතුයි. ඒ අමුතුවෙත් කොටස් දෙකක් ඉන්නවා. එක කොටසක් සතුටුදායක ලෙස අමුතුයි . අනිත් කොටස බොහොම දුක්ඛිත ලෙස අමුතුයි.
ඒ අතරින් සතුටුදායක විදිහට අමුතු අය තාක්ෂණය එක්ක දුර ගමනක් යන හරිම ස්මාර්ට් විදිහට තාක්ෂණය භාවිතා කරන. අලුත් අලුත් දේවල් හොයාගන්න උත්සහ කරන (පහුගිය කාලෙත් අලි දුම් රියේ ගැටෙන එක නවත්තන්න සොෆ්ට්වෙයා එකක් හැදුවේ අලුත් පරම්පාරාවේ වැසියෙක්), ජ්‍යාත්‍යන්තර තලයට රට ගෙනියන්න උත්සහ දරන, පොඩි වයසේ ඉදන් ඔන්ලයින් මුදල් හොයන, සෝශල් මීඩියා නිවැරදි ලෙස භාවිතා කරන පිරිසක් බිහි වෙලා ඉන්නවා. ඉස්කෝලේ යන දරුවෝ පවා දැන් යූ ටියුබ් චැනල් හදාගෙන, ටික්ටොක් එකවුන්ට් හදාගෙන වල් පල් නැතුව දැනුම බෙදාගෙන ඩොලර් හොයනවා. ඇත්තටම මේ දරුවන් තව තවත් මෙවැනි දේ වලට උනන්දු කරන්න ඕනේ. අපේ රටේ අනාගත සම්පත් තමයි මේ.
තවත් කොටසක් ඉන්නවා. "අනේ අපොයි "කියවෙන අන්න ඒ කොටස තමයි දුක්ඛිත ලෙස අමුතු කොටස. පසුගිය කාලේ බුකිය කැළඹෙන වීඩියෝ එකක් ශෙයා වුනා අට හෝ නමය වසර වයසින් පොඩි වැඩවලින් ලොකු ඇත්තෙක් ගුරුවරයෙක් අවවාද කරපු එකකට තරහා ගිහින් පරුශ වචනෙන් ගුරුවරයාට බනින වීඩියෝ එකක්.
තවත් එකක් තිබ්බා දෝණිගෙන් ඈත්වෙලා ඉඳපන් කියලා කිරි මයිලක් නැති පොඩි උන් ටිකක් තවත් පොඩි කොල්ලෙක්ව දනගස්සලා අමානුෂික ලෙස පහර දෙන සිදුවීමක්. පොඩි අය ලොකු ලොකු පාතාල අයියලගේ ආබාසේ ගන්නවද මන්දා. අර ටියුශන් ගුරෙකුත් හිටියේ පන්තිය ඉස්සරහා කොල්ලෙක් දණ ගස්සලා කෙල්ලෙක් ලව්වා ගස්සන. ඇත්තටම මේ වගේ මානසික ලෙඩ්ඩු පුනරුත්තාපනය කරන්න ඕනේ. පාතාලේ අයියෙක් මිනීමැරුවම ඒ මිනීමරුවව වීරයෙක් විදිහට සලකන සමාජයක් දැන් ඉන්නේ. වැඩිහිටි ආදර්ශ අරගෙන සුනාමියෙන් පස්සේ ඉපදුන අයියලාත් අවධානේ ඉල්ලනවා.
ඒ අස්සේ බුකියේ ඉන්න ඇච්චෝ එකතුවෙලා ෆේස්බුක් පාටි දානවා. හැමෝම 18-25 අතර වයස්වල. පාවිච්චි කරන්නේ අයිස්, ගංජා වගේ දේවල්. නිකරුනේ නාස්තිවෙලා යන්නේ තරුණ ජීවිත. පාතාලේ ලොකු ලොකු අයියලා අරහෙන් මෙහෙන් වෙඩිතියාගනිද්දි ඒවා බල බල සුනාමියෙන් පස්සේ ඉපදුන පොඩි පොඩි ඇච්චෝ බැච්චොත් සෙල්ලන් දානවා. වැඩිහිටියන්ට, ගුරුවරුන්ට , දෙමාපියන්ට තියන භය, ගෞරවය කියන දේ බහුතරයකට දැන් නෑ.
තාක්ෂණය එක්ක බුද්ධිමත් විදිහට ඉස්සරහට යන දරුවන්ව තව තවත් උනන්දු කරලා, අවශ්‍ය පහසුකම් සලසලා, අවශ්‍ය අධ්‍යාපනය ලබා දෙන ගමන්ම පිරිහීගෙන යන ළමයින්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරලා , දඩුවම් කරලා හරි මඟට ගන්න එක බලධාරීන්ගේ වගේම දෙමාපියන්ගේත් වගකීමක්.
ඒ වගේම තමයි අපරාධකරුවන් වීරයන් විදිහට සළකන අනාගත පරම්පරාවේ මතය වෙනස් කරලා ඔවුන්ගේ මොළ පාදන එක සමස්ත වැඩිහිටියන්ගේ යුතුකමක්. ළමයින්ට ආදර්ශෙට ගන්න පුලුවන් විදිහේ පිස්සු නටන්නැති උගත් බුද්ධිමත් ගුරුවරු පත් කරන එකත් රජයේ වගකීමක්.
ජයනි සිතාරි අල්විස්