ට්‍රැක්ලන්තය - තැනුමට තිරසර හෙටක් - සවිමත් ඇය වේ මගක්
පසුගිය දවස පුරාවට ට්‍රැක්ලන්තේ කාන්තාවන් හුරේ කියාගෙන සමරපු දවසක් තමා ලෝක කාන්තා දිනය කියන්නේ. කාන්තා දිනය දවසට ලෝකේ පුරාම තැන් තැන් වල විවිධාකාර වැඩසටහන් රාශියක් පැවැත්වුනානේ.
ඇත්තටම කාන්තාවකට ඕනේ සම තැනද ? නිසි තැනද ? මෙන්න මේක බොහෝමයක් කාන්තාවන් පටලගෙන කෑකෝ ගහන තැනක්. ඇත්තටම කාන්තාවකට ඕන වෙන්නේ සම තැනට වඩා නිසි තැනක්. විද්‍යාත්මක වශයෙන් ගත්තත් ගැහැණු පිරිමි දෙපාර්ෂවය ගත්තම මේ දෙගොල්ලෝ අතරේ ලොකු වෙනසක් තියනවනේ. පිරිමි කරන හැම වැඩේම ගැහැනු අයට කරන්න අමාරුයි. ඒ නිසාම තමයි ගැහැනු අයටයි පිරිම් අයටයි වෙන් වුනු වැඩ කටයුතු වෙන වෙනම තියෙන්නේ.
ඉන්නේ ට්රැක්ලන්තෙක වුනත් නියම පිරිමියෙක් තමන්ගේ අම්මට , නංගිට, අක්කට, බිරිදට නිසි ගෞරවය දීලා සලකනවා. තනියම ගෑනු ළමයෙක් පාරක බැහැලා ගියත් නියම පිරිමියෙක්ගෙන් කිසිම දවසක වචනෙකින්වත් හිංසාවක් පීඩාවක් නම් වෙන්නේ නෑ.
කාන්තාවන්ට ප්‍රශ්න ගැටලු ඇතිවෙන්නෙම පිරිමි භාග නිසා. බීගෙන ඇවිල්ලා තමන්ගේ බිරිදට, ළමයින්ට බනිනවා නම් ගහනවා නම් , ඔක්කොම චන්ඩි පාර්ට් දාන්නේ ගෑනුන්ට විතරයි නම් , බස් වල කෝච්චිවල යද්දි ගැහැනු කෙනෙක් දැක්කම කෙළ පෙරන ලිංගික අසහනකාරයෙක් නම්, අම්මට බිරිදට විතරක් නෙමෙයි ඔෆිස් එකේ මගතොටේ හමුවන ගැහැනු අයටත් ගෞරවයක් දීලා කතා කරන්න දන්නැත්තන් , කුණුහරප විහිලු කරනවා නම් ඩබල් මීනින් විහිලු කරලා අපහසුතාවයට පත් කරනවා නම් (කොල්ලෝ කොලු කමට කරන විහිලු ඔට්ටු නෑ. බලුකමට කරන විහිලු වැරදී ) ගැනු අයට හිංසා පීඩා කරනවා නම් අන්න ඒ අය තමයි පිරිමි බාග කියන්නේ.
පිරිමි බාග සුලුතරයක් නිසා හොදට ඉන්න නියම පිරිමින්ටත් ගරහන එක වැරදී. සමහර පිරිමි ඉන්නවා මල් තියලා වැන්දත් පාඩු නැති. අනෙක් දේ තමා කාන්තා පාර්ශවය වුනත් දැන ගන්න ඕනේ පිරිමි අයට එයාලට දෙන්න ඕන ගෞරවය ලබා දෙන්න. ට්‍රැක්ලන්තේ බහුතර විවාහක පිරිමි පාර්ශවය කියන දෙයක් තමා ’’ අපේ ගෑනි යක්ෂණියක් වගේ ’’ කියන එක. ඉතින් එහෙම යක්ෂණියෝ වගේ නිතරම තමන්ගේ ස්වාමිපුරුෂයාට කෑ ගහගෙන නීති දාගෙන ඉන්නවා නම් පිරිමියෙක්ගෙන් ගෞරවයක් ලැබෙයිද කියන එක නම් ලොකු ගැටලුවක්.
පවුල් පරිසරය අවුල් නම් සමාජෙට යන පුද්ගලයත් අවුල්. පොඩිකාලේ ඉදන්ම පිරිමි ළමයින්ට වගේම ගැහැනු ළමයින්ටත් කියලා දෙන්න ඕනේ එකිනෙකාට ගෞරව කරගන්න විදිහ. කියලා විතරක් මදි දෙමාපියෝ ආදර්ශමත් වෙන්නග් ඕනේ. ගේ ඇතුලෙදි අම්මා තාත්තා අංගම් පොර පිටියේ වගේ ගහ මරාගෙන , පරුස වචන කියාගෙන රණ්ඩු වෙන ගමන් තමන්ගේ ළමයාට උපසෙද් දීලා හරියන්නේ නෑ ගෞරව කරන විදිහ ගැන. ගෙදරක වැඩ ඔක්කොම කාන්තාවම කරන්න ඕනේ කියලා නියමයක් නෑ. උයන පිහින වැඩ , රෙදිහෝදන ගෙවල් අස්පස් කරන වැඩ වලට සහය වෙන්න පිරිමි අයත් පුලුවන්. ලෙඩ දුකකදී , අසනීපෙකදී ළගින් ඉදලා රැකබලා ගන්න එක හැම ස්වාමිපුරුෂයෙක්ගේම වගකීමක්. ඒ වගේම පිරිමියෙක්ගේ ගෞරවය ලැබෙන විදිහට හැසිරෙන එකත් කාන්තාවකගේ යුතුකමක්.
ජයනි සිතාරි අල්විස්