‘මම තුන්දෙනෙක් මැරුවා‘ පිලිපීන ජනපති ඩුටරේස් කියයි
තමා නගරාධිපති ලෙස කටයුතු කරද්දී, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනකු වෙඩි තබා මරා දැමූ බව බී.බී.සී. පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්, පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩුටරේස් පවසා ඇත.
‘මං තුන්දෙනෙකු මරලා දැම්මා. ඔවුන්ට මං වෙඩි තිබ්බා. කී පාරක් වෙඩි තිබ්බාදැයි දැන් මතක නැහැ. මගේ පිස්තෝලේ උණ්ඩ ඉවර වෙනකල්ම වෙඩි තිබ්බා’ යැයි ජනාධිපතිවරයා අතීත සිදුවීම විස්තර කර තිබේ.
ඩුටරේස් ආන්දෝලනාත්මක චරිතයකි. ඔහු පිලිපීනයේ ජනාධිපති ධුරයට පත්වූයේ රටේ අපරාධකරුවන්ට කිසිදු සමාවක් ලබා නොදෙන බවට පොරොන්දු වෙමිනි. ජනාධිපති වීමට පෙර ඩුටරේස් ඩවාවෝ නුවර නගරාධිපතිවරයා ගෙස කටයුතු කළේය.
ඩවාවෝ නුවර අවනීතිය රජ කරද්දීත්, පොලිසිය සන්නද්ධ අපරාධ කල්ලිවලට බිය වී සිටිද්දීත්, නගරයේ අපරාධ මැඬලීමට පුරපතිවරයා ලෙස ඩුටරේස් නීතිය අතට ගෙන ක්‍රියා කළ බව වාර්තා වේ.