ෆිදෙල් කස්ත්‍රෝ අවසන් ගමන් යයි කියුබාවට දින 9 ක ශෝක කාලයක්



 

 

කියුබානු විප්ලවය මෙහෙයවූ, එරට සමාජවාදී නායක ෆිදෙල් කස්ත්‍රෝ පසුගිය සිකුරාදා (25) මෙලොවින් සමුගත්තේය. මියයනවිට ඔහු 90 හැවිරිදි වියෙහි පසුවිය. ෆිදෙල් කස්ත්‍රෝගේ අන්තිම කැමැත්තට අනුව දේහය අද (27) ආදාහනය කෙරුණි. ඒ, පවුලේ සමීපතමයන් සහභාගී වුණු අවමංගල්‍ය උත්සවයකින් පසුවය. ෆිදෙල් කස්ත්‍රෝගේ භෂ්මාවශේෂ කියුබාවේ සන්තියාගෝ නුවර දී තැම්පත් කිරීමට නියමිතව ඇති අතර ලබන දෙසැම්බර් 4 වැනිදා තෙක් කියුබා රජය විසින් ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.
වසර 49 ක් තිස්සේ කියුබාවට නායකත්වය දුන් ෆිදෙල් කස්ත්‍රෝ දීර්ඝ කාලයක් බලයේ සිටි රාජ්‍ය නායකයා ද විය. ෆිදෙල් කස්ත්‍රෝ කියුබාවේ බලයට පත්වූයේ 1959 වසරේ ෆුලෙන්සියෝ බැටිස්ටාගේ පාලනය පෙරළා දමමිනි. බැටිස්ටා ආධාරකරුවන් සොයා වෙඩි තබා මරා දැමීමට ෆිදෙල් කස්ත්‍රෝගේ රජය කටයුතු කිරීම ඇමෙරිකාවේ විරෝධයට හේතු විය. කියුබාවේ ඇමෙරිකානු සමාගම් සියල්ල රජයට පවරා ගැනීමට ෆිදෙල් කස්ත්‍රෝ කටයුතු කිරීමත් සමඟ ඇමෙරිකාව කියුබාව සමඟ සියලුම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දැම්මේය. කියුබාවට ආර්ථික සහ වෙළෙඳ සම්බාධක ද පැනැවීය.
පුරා දශක ගණනාවක් ඇමෙරිකන් සම්බාධකවලින් නොසැලී අභිමානයෙන් යුක්තව කියුබාවට මඟ පෙන්වූයේ ෆිදෙල් කස්ත්‍රෝ සහ ඔහුගේ සමාජවාදී ආකල්පය. ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශය, 600 කට වැඩි වාර ගණනාවක් ෆිදෙල් කස්ත්‍රෝ ඝාතනය කිරීමට උත්සාහ ගත් නමුත් එම උත්සාහයන් අසාර්ථක විය.
ෆිදෙල් කස්ත්‍රෝ, 2006 වසරේ සිට අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවිය. 2008 වසරේ දී ඔහු ඔහුගේ බාල සොහොයුරු රාවුල් කස්ත්‍රෝට බලය පවරා දුන්නේය. වර්තමානයේ කියුබාවේ ජනාධිපතිවරයා මෙන්ම එරට කොමියුනිස්ට් පක්ෂයේ නායකයා ද වන්නේ රාවුල් කස්ත්‍රෝය. 
දශක ගණනාවක් ඇමෙරිකාව සහ කියුබාව අතර පැවැති විරසකය මේවනවිට සමථයකට පත් වී ඇති අතර, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ආරම්භ වී තිබේ. කියුබාව යළි මිතුරු කර ගැනීමට කටයුතු කළේ වත්මන් ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ පරිපාලනයයි.
ෆිදෙල් කස්ත්‍රෝගේ අභාවය සැලවීමත් සමඟ ලෝක නායකයෝ රැසක් ශෝක පණිවුඩ නිකුත් කළහ. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියා සිටියේ රුසියාවට විශ්වාසනීය, සුහඳ මිතුරකු අහිමි වුණු බවය. ජපාන අගමැතිවරයා කියා සිටියේ ෆිදෙල් කස්ත්‍රෝගේ සමු ගැනීම සැබෑ සහෘදයකුගේ වෙන් වීමක් බවය.
වත්මන් ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ෆිදෙල් කස්ත්‍රෝ ගැන සොව පළ කරමින් කියා සිටියේ ෆිදෙල් කස්ත්‍රෝ කොහොම කෙනකුදැයි ඉතිහාසය තීරණය කරනු ඇතැයි කියාය. තමා වීරයකු ද එසේත් නැතිනම් දුෂ්ඨයකු ද යන්න ඉතිහාසය විසින් දිනෙක තීරණය කරාවි යැයි තමා විශ්වාස කරන බව ෆිදෙල් කස්ත්‍රෝ ද වරක් පවසා තිබුණි.
ඇමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා වීමට නියමිත ඩොනල්ඞ් ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් කරමින් ෆිදෙල් කස්ත්‍රෝ දැඩි ලෙස විවේචනය කළේය. ට්‍රම්ප් පවසා ඇත්තේ ෆිදෙල් කස්ත්‍රෝ කුරිරු ආඥාදායකු කියාය.
කියුබානු විප්ලවයෙන් පසු එරට අගමැති ධුරයත් ඉන්පසු ජනපති ධුරයත් හොබවමින්, ඇමෙරිකන් සම්බාධක හමුවේ වුවද කියුබාවට නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නේය. අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රවලින් රට ඉදිරියට ගෙන යෑමට ෆිදෙල් කස්ත්‍රෝ සමත් විය. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් මේ ගැන සිහිපත් කරමින් සිය ශෝක පණිවුඩය නිකුත් කළේය.

RECOMMEND POSTS