හිලරි--ට්‍රම්ප් පළමු විවාදය ගාලගෝට්ටි මැද අවසන්



 

 

 
නොවැම්බර් අට වැනිදා පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට පෙර, ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ඩිමොක්‍රටික් පාක්ෂිකා හිලරි ක්ලින්ටන් සහ රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඞ් ට්‍රම්ප් සහභාගී වූ පළමු විවාදය ඊයේ (26) නිව්යෝක්හි ලෝන්ග් අයිලන්ඞ්හි හොෆ්ට්‍රා විශ්ව විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත් විණි. 
මෙම විවාදය සජීවී ලෙස විකාශය කෙරුණු අතර මිලියන 100 කට වැඩි පිරිසක් එය නැරැඹූ බව ද වාර්තා වේ. විවාදය මෙහෙය වූයේ නිවේදක ලෙස්ටර් හෝල්ට් විසිනි. 
විවාදය මිනිත්තු 90 ක් පුරා පැවැත්වුණු අතර, විනාඩි 15 බැගින් අවස්ථා 6 ක දී හිලරිට සහ ට්‍රම්ප්ට කාලය හිමි වූයේ ඇමෙරිකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් තම තමන් ජනපති ධුරයට පත් වුවහොත් කරන්නේ කුමක්දැයි ජනතාවට පැහැදිලි කිරීමටය.
හිලරි සහ ට්‍රම්ප් දෙදෙනා මෙම විවාදයේ දී මුහුණට මුහුණ එකිනෙකාට චෝදනා එල්ල කරන්න වූහ. තම තමන්ට වෙන් වුණු කාලයේ දී අවස්ථා කිහිපයකදී දෙදෙනා එකිනෙකාට බාධා කර ගනිමින් චෝදනා එල්ල කර ගත්හ.
හිලරි ක්ලින්ටන්ට දිගටම චෝදනා කළේ ඔහු වර්ගවාදය අවුළුවන බවටය. කාන්තාවට නිගරු කරන්නකු බවටත් කාන්තාවන්ට කිසිදු ගරු සරුවක් නැති අයකු බවටත් හිලරි, ට්‍රම්ප්ට දොස් නැගීය. 
හිලරි ක්ලින්ටන් යනු ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත් වීමට ‘ජවයක්’ ඇති අයකු නොවේ යැයි ට්‍රම්ප් චෝදනා කළේය. වැඩි දුරටත් අදහස් දක්වමින්, ට්‍රම්ප් කියා සිටියේ ඇමෙරිකානුවන්ට ඇමෙරිකාවේ රැකියා අහිමි වෙන බවත් එය වැළැක්වීමට තමන් පියවර ගන්නා බවත්ය. 
ඇමෙරිකාවේ සිටින අනවසර සංක්‍රමණිකයන් සහ සරණාගතයන් වහාම ඔවුන්ගේ රටවලට යවා, ඇමෙරිකාවේ ප්‍රමුඛත්වය සැබෑ ඇමෙරිකාන්වන්ට ලබා දෙන බව ට්‍රම්ප් කියා සිටියේය. ඇමෙරිකාවේ කළු ජාතිකයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ට්‍රම්ප් කියා සිටියේ ඔවුන් ඇමෙරිකාවේ ජීවත් වන්නේ ‘මිහිපිට අපායක’ ජීවත් වන ආකාරයට කියාය. මෙම වසරේ ධුරයෙන් සමුගන්නා ජනපති බැරැක් ඔබාමා ඇමෙරිකාවේ පළමු කළු ජාතික ජනපතිවරයාය.
ලෝකයේ පොලිස්කාරයා ලෙස ඇමෙරිකාව සැළකෙන නමුත් තමා ජනපති වුවහොත් එම තත්ත්වය වෙනස් කරමින්, ඇමෙරිකානුවන් වෙනුවෙන් වැඩි තැනක් දෙන බව ද ට්‍රම්ප් පැවැසීය. රුසියාව සමඟත් උතුරු කොරියාව සමඟත් යහපත් සබඳතා පවත්වා ගැනීමට තමන් අපේක්ෂා කරන බව ද ට්‍රම්ප් පවසා ඇත.
ට්‍රම්ප්ගෙන් සහ රිපබ්ලිකන් පක්ෂයෙන් හිලරි ක්ලින්ටන්ට දිගින් දිගටම චෝදනා එල්ල වී ඇත්තේ, හිලරිගේ ඊ මේල් සම්බන්ධයෙනි. ඔබාමාගේ පළමු ධුර කාලයේ දී ඔහුගේ රාජ්‍ය ලේකම් ධුරය දැරුවේ හිලරි ක්ලින්ටන් ය. හිලරි ඇමෙරිකන් රජයේ රහස් ඊ මේල් ඇගේ පෞද්ගලික ඊ මේල් ලිපිනයට ගෙන්වා ගැනීමට කටයුතු සළස්වා ඇත. ඒ බව අනාවරණය වූයේ ඇගේ එම පෞද්ගලික ඊ මේල් ලිපිනයේ ඇති ඊ මේල් සහ ඒවායේ දත්ත සියල්ල හැකර්වරයකු සොරාගෙන ප්‍රසිද්ධියට පත් කිරීමත් සමඟය.
ඇමෙරිකාවේ මැතිවරණ ක්‍රමයට අනුව, ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ඔවුන්ගේ මැතිවරණ රැළි අවසන් කරන්නේ මෙවැනි විවාද තුනකට සහභාගී වීමෙන් පසුවය. මෙවැනි විවාදවලට පක්ෂ දෙකම නියෝජනය කරමින් ආධාරකරුවන් සහ නියෝජිතයෝ නරඹන්නන් ලෙස ද සහභාගී වෙති. 
නොවැම්බර් ජනපතිවරණයට පෙර තවත් විවාද දෙකක් පැවැත් වෙයි. තමන් ඡන්දය දිය යුත්තේ කාටදැයි ජනතාව තීරණයක් ගනු ඇත්තේ ද මෙම විවාදවලින් පසුවය. මෙම විවාද හරහා ද සමීක්ෂණ පැවැත්වෙන අතර වැඩි වාසි කාටදැයි සොයා බැලෙයි. 
68 හැවිරිදි හිලරි ක්ලින්ටන්ගේ සෞඛ්‍යය තත්ත්වය සම්බන්ධයෙන් මේ වනවිට ගැටලු ඉස්මතු වී ඇත. තමන් හොඳ නිරෝගීව සිටිනවා යැයි හිලරි පවසන අතර ඇගේ වෛද්‍යවරු එය සනාථ කර ඇත. 
කෙසේ නමුත් හිලරි සෞඛ්‍ය පිරිහීමකට ලක්ව ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි. ඇයගේ මොළයේ ආබාධයක් ඇති බවටත්, ඇය එය ජනතාවගෙන් වසං කරන බවටත් ප්‍රතිවාදී රිපබ්ලිකන් පාක්ෂිකයෝ චෝදනා කරති. මීට දින කිහිපයකට පෙර ඇයට නියුමෝනියා වැළැඳුණු බව ද වාර්තා විය. ඇය දින තුනක් මැතිවරණ කටයුතුවලින් විවේක ගත් බව ද වාර්තා විය. ලබන නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් හිලරි ජයග්‍රහණය කළොත්, ඇය එම ධුරයට පත් වන පළමු කාන්තාව වනු ඇත.
 

RECOMMEND POSTS