හැරී කුමරුගේ පෙම්වතිය ඇමෙරිකා රූපවාහිනී නිළියක්
(ඬේලිමේල්)
බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ පෙම්වතිය ඇමෙරිකා රූපවාහිනී මාලා නාට්‍ය හරහා බටහිර රටවල අතිශයින් ජනප්‍රිය සරාගී නිළියක වන මේගන් මාර්කෙල් යැයි බ්‍රිතාන්‍යයේ ‘මේල් ඔන් ලයින්’ පුවත් වෙබ් අඩවිය පෙරේදා (02) අනාවරණය කළේය.
පසුගිය දා කැනඩාවේ රූපවාහිනී ප්‍රශ්න විචාරක තරගයකට එක්වුණු මේගන් මාර්කෙල් පවසා ඇත්තේ ‘ලොව සිටින වාසනාවන්ත කෙල්ල මමයි’ කියාය. කෙසේ නමුත් තමා හැරී කුමරුගේ පෙම්වතිය යැයි මේගන් මාර්කෙල් මාධ්‍ය වෙත කිසිවක් පවසා නැත. හැරී කුමරු ද කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නැත.
එම ප්‍රශ්න විචාරක වැඩසටහනේදී නිවේදිකාව මහා බ්‍රිතාන්‍යය සම්බන්ධයෙන් ප්‍රශ්න ඇසූ අතර මේගන්ට හැකි වූයේ ඒවායින් කිහිපකට නිවැරදි පිළිතුරු සැපැයීම පමණි. එවිට නිවේදිකාව ඇඟට නොදැනී පැවැසුවේ ‘දැන් ඉතිං ඔයාට මහා බ්‍රිතාන්‍යය ගැන හොඳින් දැනගන්න වේවි’ කියාය.
ඇමෙරිකාවේ ඉපදී හැදී වැඩුණු මේගන් මාර්කල්, මේ වනවිට ජීවත් වන්නේ කැනඩාවේ ටොරොන්ටෝ නුවරය. හැරී කුමරු ද මේ වනවිට කැනඩාවට ගොස් සිටින බව වාර්තා වේ.
35 හැවිරිදි මේගන් මාර්කෙල් බටහිර ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගත්තේ ‘සූට්ස්’ නමැති ඇමෙරිකන් රූපවාහිනී කතා මාලාව හරහාය.
බ්‍රිතාන්‍ය ඕපාදූප පුවත් සේවා අනුව, මේගන් මාර්කල් සහ හැරී කුමරු දෙදෙනා හමුවී ඇත්තේ ඔවුන් දෙදෙනාගේම යෙහෙළියක මාර්ගයෙනි. ඒ, පසුගිය ජූනි මාසයේදීය. ඉන්පසු ලන්ඩන් නුවරදී ද මොවුන් දෙදෙනා අවස්ථා කිහිපයකදී හමුවුණු බව ද ඕපාදූප පුවත් සේවා වාර්තා කර ඇත.
මේගන් මාර්කල් සහ හැරී කුමරු පෙම්වතුන් බවට බ්‍රිතාන්‍යයේ කෙන්සින්ටන් මාලිගය කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නැත. ඔවුන් පවසා ඇත්තේ හැරී කුමරුන්ගේ පෞද්ගලික ජීවිතය ගැන කිසිවක් පැවැසිය නොහැකි බවය.
32 හැවිරිදි හැරී කුමරු හමුදා සේවයෙන් විශ්‍රාම යෑමෙන් පසු පසුගිය ජූනි මාසයේ සිට සමාජ සේවා කටයුතුවලට සම්බන්ධ වී සිටී.