හයිටියට කඩිනමින් ආධාර ඕනෑ - ජගත් මහ ලේකම්වරයා කියයි
(රොයිටර්)
‘මැතිව්’ සුළි කුණාටුවෙන් කැළැඹී ගිය හයිටි රාජ්‍යයේ වැසියන්ට කඩිනමින් මානුෂීය ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මූන් පවසයි.
සුළි කුණාටුව හේතුවෙන් හයිටියේ ජීවිතක්ෂයට පත් වුණු පිරිස 1,000 ඉක්මවා ඇත. සහන කඳවුරුවල වෙනෙස වැසියන්ට පානීය ජලය වහා ප්‍රමාණවත් තරම් නොමැති බව සාම සාධක හමුදාවෝ කියා සිටිති. මේ වනවිට හයිටියට ආධාර කිරීමට ඇමෙරිකාව ඉදිරිපත් වී ඇති අතර, ආධාර රැගත් ඇමෙරිකන් හමුදා හෙලිකොප්ටර් කීපයක් හයිටි රාජ්‍යයට පැමිණ ඇතැයි ද වාර්තා වේ. මැතිව් සුළි කුණාටුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත කීපයකට ද බලපෑම් එල්ල විය.
‘මැතිව්’ සුළි කුණාටුව හයිටි රාජ්‍යයට කඩා වැදුණේ බහාමාස්, කොලොම්බියාව, කියුබාව පසු කරමිනි. හයිටියේ සිදුවුණු දේපොල හානිය ඇමෙරිකන් ඩොලර් බිලියන ඉක්මවා ඇතැයි ද වාර්තා වේ.
හයිටිය යනු ඇමෙරිකාව අසල ඇමෙරිකාවට නැගෙනහිර දෙසින් පිහිටි විශාල දූපතක එක කොටසකි. දූපතේ අනෙක් කොටස ඩොමිනිකන් ජනරජයයි. හයිටිය, ප්‍රංශ යටත් විජිතයක් ලෙස පැවැති රාජ්‍යයකි.
2010 වසරේ දී අති ප්‍රබල භූමි කම්පාවකින් හයිටි රාජ්‍යය කැලැඹිණි. එම භූමි කම්පාවෙන් 100,000 ක් මියගියහ. 3,16,000 කට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමි විය. එම භූමි කම්පාවෙන් උන්හිටිතැන් අහිමි වූ ජනයා තවමත් ජීවත් වන්නේ සහන කඳවුරුවලය. ‘මැතිව්’ සුළි කුණාටුව නිසා හටගත් ජල ගැලීම්වලින් මෙම සහන කඳවුරු රැසක් ද යට විය. හයිටි රාජ්‍යයේ ජනපතිවරණ පසුගිය 9 වැනිදාට යෙදී තිබුණු නමුත් සුළි කුණාටුවෙන් සිදුවුණු මහා විනාශය හේතුවෙන් එය කල් දැමීමට බලධාරීන් කටයුතු කර තිබුණි.