හන්ටර් බයිඩන් චීන සමාගමෙන් ඉවත් වෙයි
චීන ආයෝජන සමාගමක අධ්යක්ෂ මණ්ඩල සාමාජික ධුරයක් දරමින් සිටි හන්ටර් බයිඩන් එම තනතුරෙන් ඉවත් වී ඇත.
හන්ටර් බයිඩන් යනු, ඇමෙරිකාවේ හිටපු උප ජනපතිවරයකු මෙන්ම, මීළඟ ජනපතිවරණයේදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන ඩිමොක්රටික් පක්ෂ ප්‍රතිවාදියා වනු ඇතැයි ද පැවැසෙන ජෝ බයිඩන්ගේ පුත්‍රයාය.
ඇමෙරිකා ජනපති ට්‍රම්ප් සහ ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන් අතරේ අර්බුදයක් පවතී. ඒ, හන්ටර් බයිඩන් මුල්කොට ගනිමිනි. 2014 වසරේ, ජෝ බයිඩන් ඇමෙරිකාවේ උප ජනපති ධුරය හෙබවීය. එවිට ඇමෙරිකාවේ ජනාධිපති වූයේ බැරැක් ඔබාමාය.
2014 දී යුක්රේනයේ තෙල් සහ ගෑස් සමාගමක අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයකු ලෙස හන්ටර් කටයුතු කළේය. එම සමාගමට දූෂණ වංචා චෝදනා එල්ල වූ අතර, යුක්රේන රජය එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කළේය.
එම විමර්ශනවලට ජෝ බයිඩන්ගෙන් බලපෑම් එල්ල වුණැයි පැවැසෙයි. මේ සම්බන්ධයෙන් සොයා බලන්නැයි ජනාධිපති ට්‍රම්ප් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙක්ස්කිට දන්වා සිටියේ පසුගිය ජූලි 25 වැනිදාය. එම දුරකතන කතාබහ ප්‍රසිද්ධියට පත්විය.
ජනපති ට්‍රම්ප්ට අවශ්‍ය වී ඇත්තේ ජෝ බයිඩන්ට මඩ ගැසීමටය. අපේක්ෂකයකුට මඩ ගැසීමට විදෙස් සහාය පැතීම සම්බන්ධයෙන් ප්‍රතිවාදී ඩිමොක්රටික්වරු ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ද සූදානමින් සිටිති.
හන්ටර් බයිඩන්, චීනයේ ආයෝජන සමාගමක අධ්යක්ෂ මණ්ඩලයේ සිටින හෙයින්, ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි ඇමෙරිකන් ජනපති ට්‍රම්ප්, ප්‍රසිද්ධියේම චීන රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
තමන් අධ්යක්ෂ මණ්ඩල සාමාජික ධුරයෙන් ඉවත් වන බවත්, තම පියා ජෝ බයිඩන් ජනපති වුවහොත් යළි එම ධුරයට පත්වීමට අදහස් කරන බවත් හන්ටර් බයිඩන් පවසා ඇත.
(රොයිටර්ස්)