සුළු ජාතීන්ගේ කටයුතු සඳහා මුස්ලිම් ඇමතිවරයෙක්



ඉන්දීය අගමැති නරේන්ද්‍රගේ නව රජයේ සුළු ජාතීන්ගේ කටයුතු පිළිබඳ අමත්‍යාංශය හිමිවී ඇත්තේ භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන මුස්ලිම් අමාත්‍ය 61 හැවිරිදි මුක්තාර් අබ්බාස් නක්වීහටය.

දිගු කාලයක් තිස්සේ භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන මුක්තාර් අබ්බාස් ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් රාජ්‍ය සභාවේ සාමාජිකයෙකි. සුළු ජාතීන්ගේ කටයුතු පිළිබඳ අමත්‍යාංශය හිමිවීම, අබ්බාස් ලැබූ පළමු කැබිනට් පත්වීම යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙවර මැතිවරණයෙන් ලෝක් සභාවට තේරී පත් වී ඇත්තේ මුස්ලිම්වරුන් 26 කි. 2014 මැතිවරණයේදී එම ගණන 23 ක් විය. භාරතීය ජනතා පක්ෂය තනිවම අසන 437 ක් වෙනුවෙන් මෙවර තරග කළේය. එයින් මුස්ලිම්වරුන් නියෝජනය කළේ ආසන 7 ක් පමණය. ඔවුන් කාටවත් ජය හිමිවූයේ නැත. ප්‍රතිවාදී කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයෙන් මුස්ලිම් අපේක්ෂකයන් 423 දෙනකු ඉදිරිපත් විය. එයින් ජයග්‍රහණය කිරීමට හැකිවූයේ සිවු දෙනකුට පමණය.

ඉන්දියාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් ප්‍රජාව දිනෙන් දින අඩු වන බවක් පෙනී යන්නේ යැයි එරට දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 1981 වෙද්දී ඉන්දියාවේ මුස්ලිම් ප්‍රජාව මිලියන 68 ක් විය. 2011 වෙද්දී එය දෙගුණයක් එනම් මිලියන 172 ක් යැයි වාර්තා විය. කෙසේ නමුත් 1980 දී පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම්වරුන් ගණන 49 ක් වූ අතර, 2014 දී එම සංඛ්‍යාව 22 ක් විය.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS