සිරියාව ගැන ප්‍රංශ යෝජනාවට රුසියාව නිෂේධ බලය පාවිච්චි කරයි
සිරියානු අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස් වුණු අවස්ථාවේදී ප්රංශයත්, රුසියාවත් වෙන වෙනම යෝජනා දෙකක් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ අතර, ප්‍රංශය ගෙනා යෝජනාවට නිෂේධ බලය භාවිතා කරමින් රුසියාව එක හෙළා විරුද්ධ විය.
බටහිර රටවල් සහ රුසියාව අතර මෙම අර්බුදය හටගත්තේ සිරියාවේ ඇලෙප්පෝ නුවර සම්බන්ධයෙනි. ඇලෙප්පෝ යනු සිරියාවේ දෙවැනි විශාලතම නගරයයි. මෙම නගරය සහ එහි වැසියන් සිටින්නේ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත ග්රහණයේය.
ප්‍රංශය යෝජනා කළේ ඇලෙප්පෝ නගරයටගුවනින් බෝම්බ හෙලීම වහා නැවැත්විය යුතු බවත්, එම නගරයට ඉහළ ගුවන් කලාපය ගුවන් ගමන් තහනම් කලාපයක් ලෙස නම් කළ යුතු බවත් කියාය. රුසියාව නිෂේධ බලය පාවිච්චි කළේ ඊට එරෙහිවය.
සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ට සහාය දෙමින් එරට ගුවන් හමුදාව සමඟ එක් වී ගුවන් ප්‍රහාර එල්ල කරන රාජ්‍යය රුසියාවය. කෙසේ නමුත් පසුගිය දින කිහිපය පුරාවට ඇලෙප්පෝ නුවරට ගුවන් ප්‍රහාර එල්ල කළේ සිරියානු රජයේ හමුදාව පමණි.
රුසියාව ඇමෙරිකාව සමඟ එක් වී සටන් විරාමයක් හඳුන්වා දුන්න ද එය අසාර්ථක විය. එසේ වුවත්, ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් රුසියාව වැළැකී සිටියේය. සටන් විරාමය අසාර්ථක වූයේ ඇමෙරිකාවේ දෙබිඩි ක්‍රියා පිළිවෙත නිසා යැයි රුසියාව චෝදනා කරයි.
දෙවැනි යෝජනාව ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළේ රුසියාවය. ඒ සටන් විරාමය දිගටම පවත්වා ගෙන යෑමටත්, ඇලෙප්පෝ නුවර විපතට පත් වුණු සිවිල් වැසියන්ට මානුෂීය ආධාර ලබා දීමට වහා කටයුතු කළ යුතු බව පෙන්වා දෙමිනි. ගුවන් ප්‍රහාර එල්ල කිරීම නැවැත් විය යුතුයි යන්න සම්බන්ධයෙන් රුසියාව කිසිවක් පැවැසුවේ නැත.
ඇලෙප්පෝ යනු සිරියාවේ දෙවැනි විශාලතම නගරයයි. ප්‍රංශය ගෙනා යෝජනාවට රුසියාව නිෂේධ බලය පාවිච්චි කරමින් විරෝධය පළ නොකරා නම්, මේ වනවිට ඇලෙප්පෝ නුවරට ඉහළ අහසේ ගුවන් තහනමක් ක්‍රියාත්මක වනු ඇති බවත්, සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට හැකි වනු ඇති බවත් රුසියාවට විරෝධය දක්වන ආරක්ෂක මණ්ඩල සෙසු සාමාජික රටවල් පෙන්වා දී ඇත.
ප්‍රංශය ඉදිරිපත් කළ එම යෝජනාවට ආරක්ෂක මණ්ඩල සාමාජික රයවල් 11 ක් කැමැත්ත පළ කර තිබුණි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට රටවල් 15 ක් අයත් වෙයි. එයින් නිෂේධ බලය ඇති රටවල් වන්නේ රුසියාව, ඇමෙරිකාව, ප්‍රංශය, බි්රතාන්යය සහ චීනයයි.
වසර පහකට වැඩි කාලයක් තිස්සේ ඔඩුදුවන සිරියානු අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තීන්දු තීරණ ගැනීමට රැස් වුණු අවස්ථාවලදී, අවස්ථා පහකදී රුසියාව නිෂේධ බලය පාවිච්චි කර සිය විරෝධය පළ කර ඇතැයි විදෙස් පුවත් සේවා මතක් කර දෙයි.