සිරියානු අර්බුදය නොවිසඳීම ගැන කනගාටු වෙනවා - බැන් කි මූන් කියයි



 (රොයිටර්)
සිරියානු අර්බුදය නොවිසඳීම සම්බන්ධයෙන් තමා කනගාටුවට පත්වන බවත් ඒ සම්බන්ධයෙන් එල්ල වන ඕනෑම චෝදනාවකට මුහුණ දීමට තමා සූදානම් බවත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් ප්‍රකාශ කළේය.
එසේ වුවද තමාගේ පාලනයෙන් තොර කරුණුවලට ද තමා චෝදනා ලබන බව සියලු පාර්ශව අවබෝධ කරගත යුතු යැයි ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා එහිදි කීවේය.  
එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා මෙම කරුණු පැවසුවේ රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. ලබන ජනවාරියේ තමා දකුණු කොරියාවට පැමිණෙන බවත් රටේ අනාගතය වෙනුවෙන් තමාට දිය හැකි දායකත්වය කුමක්දැයි එහිදි සලකා බලන බව ද ඔහු එම සම්මුඛ සාකච්ඡාවේදී කීවේය. 
“මම ජනාධිපතිවරණයට ඉදිරිත් වී දකුණු කොරියාවට යහපත් අනාගතයක් උදා කිරීමට කැපවෙනු ඇතැයි මගේ විශාල පිරිසක් අපේක්ෂාවෙන් සිටිනවා” යැයි 72 වියෙහි පසුවන වත්මන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා එහිදි කීවේය. 

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ දෙවැනි ධුර කාලයේදී සිරියානු අර්බුදය ආරම්භ වූ අතර එය ක්‍රමයෙන් දරුණු විය. සිරියානු අර්බුදය මේ වනවිට සයවැනි වසරටත් දිග්ගැස්සී තිබෙන අතර මේ දක්වා ගැටුම්වලින් මියගිය ගණන 400,000කට වැඩිය. රටේ මිලියන 22ක් වන ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් අවතැන් වී ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්ත වාර්තා සඳහන් කරයි.


RECOMMEND POSTS