සාම ගිවිසුම වෙනස් කරන්න එපා කොලොම්බියා වැසියන්ගෙන් ඉල්ලීමක්



බොගෝටාහිදීය (රොයිටර්)

කොලොම්බියා රජය සහ ‘ෆාර්ක්’ ගරිල්ලන් අතර ඇති කරගත් සටන් විරාමය කෙසේ හෝ සාම ගිවිසුමකට පෙරළා ගැනීමට කටයුතු කරන්නැයි කොලොම්බියා රජයට සහ ෆාර්ක් ගරිල්ලා සංවිධානයට ආයාචනා කරමින් කොලොම්බියානු වැසියෝ දහසකට වැඩි පිරිසක් පෙරේදා (5) රාත්‍රියේ කොලොම්බියාවේ බොගෝටා අගනුවරට රැස් වූහ.

කොලොම්බියා රජය සහ ‘ෆාර්ක්’ ගරිල්ලන් අතර ඇති කරගත් සටන් විරාමය සාම ගිවිසුමකට හරවා ගැනීම සම්බන්ධයෙන් රජය සහ ගරිල්ලන් අතරේ පොදු එකඟතාවක් ඇති කර ගැනුනේ මීට සති කිහිපයකට පෙරය. ඒ සම්බන්ධයෙන් රජය ජනමත විමසුමක් පසුගිය දා පැවැත්වීය. එම ජනමත විමසුමේදී හෙළි වූයේ කොලොම්බියාවේ බහුතරය ඊට විරෝධය දක්වමින් ඡන්දය ලබා දී ඇති බවය.

ජනමත විමසුමේදී කොලොම්බියා වැසියන්ගෙන් සියයට 50.24 ක් සාම ගිවිසුමට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ සියයට 49.8 ක් පමණි. පෙරේදා රාත්‍රියේ ඉටි පන්දම් දල්වා ගෙන, සාමකාමී රැලියකට එක් වෙමින් සාම ගිවිසුම අවශ්‍ය යැයි රජයෙන් සහ ගරිල්ලා සංවිධානයෙන් ඉල්ලා සිටියේ ජනමත විමසුමේ දී සාම ගිවිසුමට පක්ෂව ඡන්දය පළ කළ කොලොම්බියානු වැසියෝය.

කොලොම්බියා ජනාධිපති යුවාන් මැනුවෙල් සැන්ටෝස් සහ ‘ෆාර්ක්’ නායක ටිමෝලියෝන් හිමේනේස් මීට මාසයකට පෙර සාම ගිවිසුම වෙනුවෙන් අත්සන් තැබූහ. එසේ අත්සන් තැබුණේ වසර හතරක් පුරා පැවැති සාකච්ඡාවලින් අනතුරුවය. සාම ගිවිසුම ක්‍රියාත්මක වීමට කොලොම්බිය වැසියන් ඊට අනුමැතිය ලබා දිය යුතුය. ජනමත විමසුම පවත්වන ලද්දේ ඒ සඳහාය. 

 

 

ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු, කොලොම්බියානු ජනාධිපතිවරයා ජාතිය අමතමින් කියා සිටියේ, එවැනි ප්‍රතිඵලයක් තමන් අපේක්ෂා නොකළ බවය. කොලොම්බියානු වැසියන් වෛරය සහ පළිගැනීම යන චේතනාවලින් සිටින බවත්, ඔවුන් සමාව දීම ප්‍රතික්ෂේප කර ඇති නිසා සාම ගිවිසුමට වැට බැඳුණු බවත් ජනපති සැන්ටෝස් පවසා ඇත.

පෙරේදා දිනයේ පැවැති එම සාමකාමී රැලියෙන් පසු ජනපතිවරයා මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ සංශෝධන ඉදිරිපත් කරමින් සාම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවය. කෙසේ නමුත් බහුතරය විරෝධය දක්වන්නේ නම්, තමාට කළ හැකි දෙයක් නැතැයි ද ජනපති සැන්ටෝස් වැඩි දුරටත් කියා සිටී. කෙසේ නමුත් නැවත රටේ සිවිල් යුද්ධයක් ඇති නොවීමට තමා වග බලා ගන්නා බව ද ජනපතිවරයා පවසා ඇත.

‘කොලොම්බියානු විප්ලවීය හමුදාව’ හෙවත් ෆාර්ක් ගරිල්ලන් අවි අතට ගෙන අසාධාරණවට ලක් වුණු සිවිල් වැසියන් වෙනුවෙන් දක්ෂිණාංශික මතධාරී රජයට එරෙහිව සටන් ආරම්භ කළේ 1964 වසරේදීය. ෆාර්ක් සංවිධානය බිහිවූයේ කොලොම්බියානු කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන්ගේ එකමුතුවෙනි. 

මොවුන් ක්‍රියාත්මක වූයේ ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන කොලොම්බියාවේ වයඹදිග පළාත් කේන්ද්‍රකොට ගනිමිනි. මොවුහු රජයේ නිලධාරීන්, හමුදා නිලධාරීන් ව්‍යාපාරිකයන් පැහැරගෙන කප්පන් ගැනීම් ද සිදු කළහ. 

මෙම ගරිල්ලෝ තම සංවිධානයේ කටයුතු සඳහා මුදල් රැස් කිරීමට මත්ද්‍රව්‍ය ජාවාරම් ද කළහ. 2013 වසර වෙද්දී 10,000 ක කැරැලිකරුවෝ පිරිසක් මෙම සංවිධානය සමඟ එක් වී සිටියහ. මොවුහු ඇමෙරිකාවට හිතවත් කොලොම්බියා රාජ්‍ය තම සතුරන් ලෙස සැලැකූහ.


RECOMMEND POSTS