සයිබර් ප්‍රහාරයකින් බිලියන 2 ක් සොරකම් කරලා



උතුරු කොරියාව සයිබර් ප්‍රහාර හරහා ඇමෙරිකන් ඩොලර් බිලියන දෙකක මුදලක් සොරකම් කරගෙන ඇති බවටත්, එම මුදල් ඔවුන් ඔවුන්ගේ මිසයිල වැඩසටහන ශක්තිමත් කර ගැනීමට යොදවා ඇති බවටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා කරයි.

සයිබර් ප්‍රහාරයක් යනු අන්තර්ජාල භාවිතයට ගනිමින් සිදුවන කඩාකප්පල්කාරී ක්‍රියාවකි. අද සියලු බැංකු කටයුතු පමණක් නොව, රාජ්‍ය කටයුතු පවා සිදුවන්නේ අන්තර්ජාල ඔස්සේය. එහෙයින්, බැංකුවලින් මුදල් සොරකම් කිරීම හෝ රාජ්‍යයක කටයුතු අඩපණ කිරීම හෝ සයිබර් ප්‍රහාරයකින් පහසුවෙන් කළ හැකිය. සයිබර් ප්‍රහාර එල්ල කරන පරිගණක විශේෂඥයන් ‘හැකර්’වරුන් යනුවෙන් හැඳින්වෙයි.

ඇමෙරිකන් ඩොලර් බිලියන දෙකක මෙම මුදල සොරකම් කර ඇත්තේ බැංකු සහ මූල්‍ය ආයතනවලිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වා ඇති අතර, එහිදී හෙලි වී ඇත්තේ උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවර සිට සයිබර් ප්‍රහාර 35 ක් ක්‍රියාත්මක වී ඇති බවය.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් සාමයට කැමැත්ත පළ කර ඇති අතර, කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිහරණවලින් තොර සාමකාමී තැනක් බවට පත් කිරීමට සූදානමින් සිටී. මේ සම්බන්ධයෙන් උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතරේ මිත්‍රත්වයක් ද නිර්මාණය වී ඇත.

කෙසේ නමුත් මේ වනවිට උතුරු කොරියාව යළිත් වරක් කෙටි දුර මිසයිල අත්හදා බැලීම් කරයි. ඒවා නවීන මිසයිල පද්ධතියකට අයත් මිසයිල යැයි දකුණු කොරියාව චෝදනා නගා ඇත. උතුරු කොරියාව මෙසේ මිසයිල අත්හදා බලමින් දකුණු කොරියාවට විරෝධය පළ කර ඇත. ඒ, දකුණු කොරියාව ඇමෙරිකාව සමඟ එක් වී වාර්ෂිකව පවත්වන ඒකාබද්ධ යුද අභ්‍යාසයට එරෙහිවය.

සෝල්හිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS