වෙනිසියුලාවෙන් වහාම හමුදා ඉවත් කරගන්න
වෙනිසියුලාවට යැවූ රුසියන් සොල්දාදුවන් වහා ආපසු ගෙන්වා ගන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් රුසියාවට අනතුරු ඇඟවීමක් කළේය.
රුසියාව වෙනිසියුලාවට යැවූ හමුදා සොල්දාදුවන් ඉවත් කර නොගන්නේ නම්, ඊට එරෙහි දැඩි ක්‍රියා මාර්ගයක් ගැනීමට තමන් පසුබට නොවන බව ද ඇමෙරිකා ජනාධිපතිවරයා පවසා ඇත.
වෙනිසියුලාවේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ, එරට ජනාධිපති නිකලස් මදුරෝගේ රජය සහ වෙනිසියුලා විපක්ෂය අතරේ ය. වෙනිසියුලා විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක් වී, එරට විපක්ෂ නායක යුවාන් ගුඅයිඩෝ අන්තර්වාර ජනාධිපති ලෙස නම් කරනු ලැබ ඇත. ඇමෙරිකාව සහ බටහිර රටවල් ගුඅයිඩෝට සහාය දක්වද්දී, රුසියාව පමණක් නොව චීනය ද සහාය දක්වන්නේ වෙනිසියුලාවේ නීති්යාණුකූල ජනාධිපති නිකලස් මදුරෝ සහ වෙනිසියුලා රජයටය.
රුසියානු ගුවන් යානා දෙකක් ඉකුත් සති අන්තයේ වෙනිසියුලාවේ කැරැකස් අගනුවරට පැමිණියේ හමුදා සොල්දාදුවන් 100 ක් සහ ටොන් 35 ක හමුදා උපකරණ ද සමඟය. වෙනිසියුලා රජය සමඟ රුසියාව ආරක්ෂක ගිවිසුම් කිහිපයකට අත්සන් තබා ඇති අතර, වෙනිසියුලා රජයේ ඉල්ලීම පරිදි රුසියන් සොල්දාදුවන් වෙනිසියුලාවට පැමිණි බව ද වාර්තා විය.
පසුගිය දා වෙනිසියුලා විපක්ෂ නායක ගුඅයිඩෝගේ බිරිඳ ෆැබියාවා රොසාලේස්, ධවල මන්දිරයේ දී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවූවාය. ෆැබියාවා රොසාලේස් මානව ක්‍රියාකාරිනියක පමණක් නොව, මාධ්‍යවේදිනියක ද වන්නීය. ඇය ට්‍රම්ප් හමුවීමට පැමිණියේ ගුයිඩෝගේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරන රොබර්ටෝ මරේරෝගේ සොහොයුරිය සහ බිරිඳ ද සමඟය.
වෙනිසියුලා රජය රොබර්ටෝ මරේරෝ අත්අඩංගුට ගෙන ඇති අතර ගුඅයිඩෝට ද නිරන්තරයෙන් තර්ජන එල්ල කරන බව වාර්තා වේ. තම සැමියාගේ ජීවිතය ගැන බියක් ඇති බව, ෆැබියාවා රොසාලේස් ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සමඟ පැවැසූ බව ද විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
වොෂින්ටනයේදීය (රොයිටර්ස්)