රුසියානු නගරයකට හිම වළසුන් කඩා වදී



මිනිස් ජනාවාස තිබෙන ප්‍රදේශයකට හිම වලස්සු කඩා වැදීම හේතුවෙන් රුසියාවට අයත් ආක්ටික් දූපත් සමූහයක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එලෙස හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත්තේ රුසියාවට අයත් ආක්ටික් දූපත් සමූහයක් වන නොවායා සෙමල්යා හි ය. දස දහසකට ආසන්න පිරිසක් මෙම දූපත්වල ජීවත් වෙති. හිම වලසුන් පහර දීමේ සිදුවීම් තුනක් වාර්තා වූ බවත් වලසුන් නිවාසවලට සහ පොදු ස්ථානවලට ඇතුළු වූ සිදුවීම් කිහිපයක් වාර්තා වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්විණි.

හිම වලසුන් යනු දේශගුණික විපර්යාස නිසා වැඩියෙන්ම බලපෑමට ලක්වූ සත්ව කොට්ඨාශයයි. එම තත්ත්වය හේතුවෙන් හිම වලසුන් කෑම සොයා ගොඩබිම් ප්‍රදේශවලට පැමිණීම වැඩි වී තිබේ.

රුසියාව හිම වලසුන් උපද්‍රවයට සහ වඳවීමේ යෑමේ තර්ජනයට ලක්ව ඇත් සත්ව වර්ගයක් ලෙස නම් කර තිබේ.
සංඥා සහ ආලෝක දැල්වීම ඇතුළු හිම වලසුන් අනතුරු ඇඟවීම සඳහා පොලිසිය ගන්නා ලද ක්‍රියාමාර්ග සියල්ලම අසාර්ථක වී ඇති බැවින් ඊට වඩා ප්‍රබල පියවර ගැනීමට සිදුව ඇතැයි ද බලධාරීහූ කීහ. හිම වලසුන් බිය කිරීමට ගත් සියලු උත්සහයන් අසාර්ථක වූ බැවින් උන් රංචුවලින් වෙන් කර තනි කර අල්ලාගැනීම එකම විකල්පය යැයි ද ඔවුහු පැවැසූහ.

මෙම දූපත් සමූහයේ ප්‍රධාන දූපත වනුයේ බෙලුෂ්යා ගුබා දූපතය. එ ප්‍රදේශයේදී පමණක් හිම වලසුන් 52 දෙනකුට ආසන්න පිරිසක් දක්නට ලැබුණු බව වාර්තා විය.

බී.බී.සී. ඇසුරිනි


RECOMMEND POSTS