රැඳවුම් බාරයේ සිට රැකෙන යෝධ පැන්ඩලා



රැඳවුම් භාරයේ පසුවන ලොව විශාලතම යෝධ පැන්ඩා ගහණයට හිමිකම් කියන්නට සිචුවාන් ප්‍රාන්තයේ යෝධ පැන්ඩා සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානය සමත් විය.

එම පැන්ඩා රැඳවුම් මධ්‍යස්ථානය එරටට පැමිණෙන සංචාරකයින් අතරත් අතිශය ජනප්‍රියයි.වර්තමානය වනවිට එහි වාසය කරන පැන්ඩා සත්ත්වයින් ගණන 312ක් දක්වා ඉහළ ගොස් තිබේ.රැඳවුම් භාරයේ පසුවන ලොව විශාලතම යෝධ පැන්ඩා ගහණයට රැකවරණය සැපයෙන්නේද මෙම මධ්‍යස්ථානයේදීයි.මධ්‍යස්ථානය නිකුත් කළ නවතම සංඛ්‍යා ලේඛනවලින් ඒ බව තහවුරු කළේය. 

රැඳවුම් මධ්‍යස්ථානයේ වාසය කරන ලාබාලතම සාමාජිකයන් වන්නේ අගෝස්තු මස 31 වැනිදා උපත ලැබූ නිවුන් පැන්ඩා පැටවුන් දෙදෙනෙක් බව සඳහන් වෙයි.මේ වනවිට මාසයක් පමණ වයසැති පැටවුන් නිරෝගී සුවයෙන් පසුවන බව එහි කාර්ය මණ්ඩල සාමාජිකයෙක් සඳහන් කළේය.

රැඳවුම් භාරයේ පසුවන පැන්ඩාවන්  අභිජනනය අභියෝගයක් වුවත්  වසර ගණනාවක උත්සාහය මේ වන විට මල්ඵල දරා තිබේ.පැන්ඩාවන් 10 දෙනෙකුගෙන් ආරම්භ කළ මෙම  මධ්‍යස්ථානයේ පැන්ඩා ගහණය 312 දක්වා වර්ධනය වී ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.

රැඳවුම් භාරයේ පසුවන ලොව සමස්ත පැන්ඩා ගහණයෙන් සියයට 50කට වැඩි ප්‍රතිශතයක් වාසය කරන්නේද මෙම මධ්‍යස්ථානයේ බවට සඳහන් වෙයි.

චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ යෝධ පැන්ඩා සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානය අක්කර 600ක් පමණ පුරා විහිදී තිබේ.මෙම සංරක්‍ෂණ මධ්‍යස්ථානයට දිනකට දසදහස් ගණනින් සංචාරකයින් පැමිණෙයි.නමුත් එහි විශේෂත්වය වනුයේ දසදහස් ගණනින් සංචාරකයන් පැමිණියද, මෙම භූමිය ඉතා සන්සුන් මෙන්ම ඉතා පිරිසුදු මට්ටමින් පවත්වාගෙන යෑමයි. 

( තිළිණි ද සිල්වා)
චයිනා ඩේලි ඇසුරෙනි.

RECOMMEND POSTS