රාහුල්ට - කෙජ්රිවාල්ට දිල්ලි පොලිසිය හරස් වෙයි
(එන්.ඩී.ටීවී.)
ඉන්දීය රජයට විරෝධය පාමින්, දිවි නසාගත් විශ්‍රාමික හමුදා නිලධාරියකුගේ පවුලේ සාමාජිකයන් හමුවීමට උත්සාහ කළ ඉන්දියාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්රස් පක්ෂයේ මහ ලේකම් රාහුල් ගාන්ධි සහ දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති මෙන්ම ආම් ආද්මී පක්ෂයේ නායක අරවින්ද් කෙජ්රිවාල් පෙරේදා (2) අවස්ථා දෙකකදී නවදිල්ලි පොලිසිය විසින් පැය 6 කට ආසන්න කාලයක් රඳවා ගනු ලැබූහ.
තමන්ට පමණක් නොව, විශ්‍රාමික හමුදා නිලධාරීන්ට පවා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් සිදුවන අසාධාරණකම් ගැන ඉන්දීය රජයට විරෝධය දක්වමින්, වස පානය කර දිවි නසා ගත්තේ සුභේදර් රාම් ක්‍රිෂන් ග්‍රෙවල් නමැති 70 හැවිරිදි විශ්‍රාමික හමුදා නිලධාරියෙකි. ඒ, ඉකුත් අඟහරුවාදා සවසය. ඇතැම් ඉන්දීය පුවත් සේවා වාර්තා කළේ සුභේදර් රාම් ක්‍රිෂන් ග්රෙවල්ගේ වසය අවුරුදු 65 ක් බවය.
එම සිදුවීමෙන් පසු, කොංග්රස් පක්ෂයේ ක්‍රියාකාරීන් ද පිරිවරාගෙන රාම් ක්‍රිෂන්ගේ පවුලේ අය හමුවීමට උත්සාහ කළ රාහුල් ගාන්ධි ඇතුළු පක්ෂ ජේ්‍යෂ්ඨයෝ කිහිප දෙනෙක් නවදිල්ලි පොලිස් නිලධාරීන්ගේ බාධා කිරීමට මැදි වූහ. අවසානයේදී නවදිල්ලි පොලිසියට ගෙන ගොස් ඔවුන් පැය කීපයක් පොලිසියේ රඳවා ගැනීමට ද පොලිසිය පියවර ගත්තේය.
දිල්ලි මහ ඇමැති කෙජ්රිවාල් උත්සහ ගෙන ඇත්තේ සුභේදර් රාම් ක්‍රිෂන් ග්රෙවල්ගේ දේහය තැන්පත් කළ රෝහලට යෑමටය. පොලිසිය ඔහුට හරස්වුණු අතර, පොලිස් නිලධාරීන් පැය 6 කට ආසන්න කාලයක් කෙජ්රිවාල් පොලිස් ස්ථානයේ රඳවා ගත් බව වාර්තා වේ. කෙජ්රිවාල්ගේ දෙවැනියා මනීෂ් සිසෝදියා ද පොලිසිය විසින් රඳවා ගනු ලැබුණි.
එයින් කෝපයට පත් කොංග්රස් පක්ෂ ක්‍රියාකාරීන් පමණක් නොව, ආම් ආද්මී පක්ෂ ක්‍රියාකාරීහු ද වීදි බැස ඉන්දීය රජයටත් දිල්ලි පොලිසියටත් සිය විරෝධතාව දක්වා සිටියහ.
ජනතාව උසිගන්වමින්, මහජන සාමයට බාධා කිරීමට කොංග්රස් පක්ෂය සහ දිල්ලි මහ ඇමැතිගේ ආම් ආද්මී පක්ෂය උත්සහ ගන්නවා යැයි ඔවුන්ට ඉන්දීය රජයෙන් චෝදනා එල්ල වී ඇත.
වසර 28 කට සේවයෙන් පසු රාම් ක්‍රිෂන් හමුදාවෙන් විශ්‍රාම ගියේ 2004 වසරේදීය. විශ්‍රාම යෑමෙන් පසු තමා ජීවත් වුණු ගම්ලා නමැති ගම්මානයේ සුබසාධන කටයුතු වෙනුවෙන් රාම් ක්‍රිෂන් කැපවී සේවය කළේය. එම කැපවීමෙන් කළ සේවය නිසාම 2008 වසරේ දී ඔහු එවකට ඉන්දීය ජනපතිනී ප්‍රතිභා පටෙල් අතින් ‘නිර්මල් ග්‍රාම් සුරක්ෂා’ සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.
ඉන්දියාවේ හමුදා සොල්දාදුවන් සහ හමුදා නිලධාරීන් වෙනුවෙන් පවතින්නේ ‘එකම ශ්‍රේණියට, එකම සේවා කාලයට, එකම වැටුපක්’ යන සංකල්පය යටතේ විශ්‍රාම වැටුප් දීමේ ක්රමයකි. මෙය වීට පෙර ද අවස්ථා ගණනාවකදී හමුදා නිලධාරීන්ගේ සහ සොල්දාදුවන්ගේ විරෝධයට හේතු විය.
තම විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවුණු රාම් ක්‍රිෂන් ග්රෙවල්මේ සිය විරෝධය නිරන්තරයෙන් ඉදිරිපත් කර ඇති අතර, ඒ වෙනුවෙන් පැවැති විරෝධතාවලට නායකත්වය ද දුන්නේය. විරෝධය පළ කරමින් ඒ සම්බන්ධයෙන් ලියවිල්ලක් ආරක්ෂක අමත්‍යාංශයට බාරදීමට රාම් ක්‍රිෂන් ඇතුළු හමුදා විශ්‍රාමිකයෝ තිදෙනෙක් පසුගියදා නවදිල්ලි අගනුවරට පැමිණියාහ.
රාම් ක්‍රිෂන් ග්‍රෙවල් පෞද්ගලිකව මෙම කාරණාව සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ද ලිපියක් යවා ඇති අතර අගමැති මෝදිගෙන් ඊට පිළිතුරක් ලැබී නැත.
ඉල්ලීම්වලට පිළිතුරක් නොලැබෙන්නේ නම් තමා දිවිනසා ගන්නා බව රාම් ක්‍රිෂන් සිය පවුලේ අයට දැනුම් දුන්නේ ඉන්පසුවය. ඒ අනුව, පසුගිය අඟහරුවාදා නවදිල්ලි අගනුවර ස්වදේශ කටයුතු අමත්‍යාංශය පිහිටි ගොඩනැගිල්ල පසුපස වස පානය කර රාම් ක්‍රිෂන් දිවි නසා ගත්තේය.
ඉන්දීය ආරක්ෂක අමත්‍යාංශය පසුව නිවේදනය කළේ තමන්ට වැරැදීමක් සිදුවී තිබුණු බවත් සුභේදර් රාම් ක්‍රිෂන් ග්රෙවල්ට විශ්‍රාම වැටුප ලෙස ගෙවූ මුදල ඉන්දීය රුපියල් 23,000 ක් වුවත් එය රුපියල් 28,000 ලෙස නිවැරදි විය යුතු බවත්ය.
රාම් ක්‍රිෂන්ගේ අවසන් කටයුතු ඊයේ (3) හර්යානා පිහිටි ඔහුගේ ගම්මානයේ දී පැවැත්වුණු අතර රාහුල් ගාන්ධි ද අවමංගල්‍යට සහභාගී වූයේය. එම අවස්ථාවේදී ද ගම්වාසීන්ගෙන් අගමැති මෝදිට සහ රජයට විරෝධයක් එල්ල විය.