රාහුල් ගාන්ධිගේ සොයුරිය ප්‍රියංකා දේශපාලනයට
එලැඹෙන මහ මැතිවරණයේ දී අගමැති නරේන්ද්‍ර මෝදිට අභියෝගයක් වීමට, ඉන්දීයාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිගේ සොහොයුරිය ප්‍රියංකා ගාන්ධි දේශපාලනයට පිවිස සිටී.
මව සෝනියාගේත්, සොයුරු රාහුල්ගේත් මැතිවරණ කටයුතුවලට සම්බන්ධ වී සිටිය ද ප්‍රියංකා ගාන්ධි මේ වනතුරු නිලවශයෙන් දේශපාලනයට පිවිස සිටියේ නැත.
එලැඹෙන මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින්, ප්රිංකා ගාන්ධි උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ කොංග්රස් පක්ෂ මහ ලේකම්වරිය ලෙස පත් කළේ යැයි කොංග්රස් පක්ෂය නිවේදනය කර තිබේ. ඉන්දීය පාර්ලිමේන්තුවේ (ලෝක් සභාවේ) වැඩිම මන්ත්‍රී නියෝජනයක් ඇත්තේ ද උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයෙනි.
47 හැවිරිදි ප්‍රියංකා විවාහ වී සිටින්නේ ව්‍යාපාරික රොබට් වද්‍රා සමඟය. ඇය දෙදරු මවකි. හර්යානා සහ රාජස්ථාන ප්‍රාන්තයේ දේපළ වෙළඳාම් කටයුතු සම්බන්ධයෙන් සිදුවුණු අකටයුතුකම් රැසක් සම්බන්ධයෙන් වද්‍රා චෝදනා ලැබ සිටින අතර, ඒ සම්බන්ධයෙන් නඩු විභාගයක් ද පැවැත්වෙයි. එය තමාට තම බිරිඳ ප්රිංකාට සහ ඇගේ පවුලේ අයට මඩ ගැසීමෙන් එල්ල වන බොරු චෝදනා යැයි රොබට් වද්‍රා පවසා ඇත. තමන් කිසිම වැරැදි වැඩක් කර නොමැති බව ද ඔහු අවධාරණය කර තිබේ.
තම සොයුරිය ප්‍රියංකා දේශපාලනයට අවතීර්ණ වීම, ලොකු සතුටක් බවත් ඇය තමන්ට ශක්තියක් බවත් කොංග්රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි මාධ්‍ය හමුවේ පවසා ඇත. රාහුල් සහ සෝනියාගේ පියා රජිව් ගාන්ධි පමණක් නොව, මිත්තණිය ඉන්දිරා ගාන්ධි ද ඉන්දයාවේ අගමැති ධුරය හොබවා ඇත.
ඉන්දීය මහ මැතිවරණය පැවැත්වෙන්නේ, අප්‍රේල් සහ මැයි මාසවලය. නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂය බලයට පත් වූයේ 2014 වසරේ පැවැති මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයකිනි. එම අවස්ථාවේ, සෝනියා ගාන්ධිගේ නායකත්වයෙන් යුත් කොංග්රස් පක්ෂය ප්රමුඛ සන්ධානයට ප්‍රබල පරාජයක් අත්විය.
මේ වනවිට කොංග්රස් පක්ෂයට නායකත්වය දෙන්නේ රාහුල් ගාන්ධිය. පසුගිය වසරේ ඉන්දීය ප්‍රාන්ත මට්ටමින් පැවැත්වුණු ප්‍රාන්තසභා කිහිපයක් විශිෂ්ට ලෙස ජය ගැනීමට කොංග්රස් පක්ෂයට හැකිවුණු අතර අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂය පසුබෑමකට ලක් විය.
නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)