යුරෝපා සංචාරය අවසන්: බැරැක් ඔබාමා පේරු රටේ



(රොයිටර්)

ජනපති ධුරයෙන් සමුගැනීමට නියමිත බැරැක් ඔබාමා, සිය අවසන් යුරෝපා සංචාරය අවසන් කර, පසුගිය 18 වැනිදා රාත්‍රියේ ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයේ සංචාරයකට පැමිණියේය.
ඇමෙරිකාවේ පළමු කළු ජාතික ජනපති ලෙස වසර අටක් තිස්සේ එම ධුරය හෙබවූ ඔබාමා ජනපති වරයා ලෙස සහභාගී වන අවසන් විදේශීය සංචාරය මෙය යැයි ධවල මන්දිරය වාර්තා කරයි.
පේරු රාජ්‍යයේ ලීමා අගනුවර ජෝර්ජ් චාවේස් ගුවන්තොටුපොළට පැමිණි ඔබාමාට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. පේරු උප ජනාධිපති මර්සිඬේස් අරෝස් ගුවන් තොටුපොළට පැමිණ සිටියේය.
ඔබාමා පේරු රාජ්‍යයට පැමිණියේ ලතින් ඇමෙරිකා රටවල රාජ්‍ය නායකයන් ද සහභාගී වන අන්තර් පැසිෆික් වෙළෙඳ ගිවිසුම් සමුළුවට සහභාගී වීමටය. මෙම සමුළුවට රටවල් 12 ක රාජ්‍ය නායකයෝ සහභාගී වෙති. සමුළුව පෙරේදා (19) ලීමා අගනුවරදී ආරම්භ විය.
ඔබාමාගෙන් පසු ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපති ලෙස එම ධුරයට පත්වන ඩොනල්ඞ් ට්‍රම්ප් සම්බන්ධයෙන්, ලතින් ඇමෙරිකා රාජ්‍ය නායකයන් අතරේ ලොකු සැකයක් පවතින බව, ඔවුන් ට්‍රම්ප් ගැන ඔබාමාගෙන් ඇසූ ප්‍රශ්නවලට අනුව පෙනී ගියේ යැයි සමුළුව වාර්තා කළ ඇමෙරිකන් මාධ්‍යවේදීහු පවසති.
පුද්ගලයන් වෙනස් වුවත්, ඇමෙරිකාවේ ප්‍රතිපත්ති වෙනස් නොවන බවටත්, ට්‍රම්ප්ගෙන් කිසිදු බාධාවක් සිදු නොවනු ඇති බවටත් ඔබාමා සමුළුවේදී සහතික විය.
මේ අතර ට්‍රම්ප් ගැන සැකයක් පැවැති ජපාන ජනාධිපති ෂෙන්සෝ අබේ, පෙරේදා (19) ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට පැමිණ ජනපති ධුරයට පත්වීමට නියමිත ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවී සාකච්ඡා පැවැත්වීය. හමුව පැවැත්වූයේ ට්‍රම්ප් කුලුන නමින් හැඳින්වෙන ඔහුගේ ගොඩනැගිල්ලේය.
ජනපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු, ට්‍රම්ප් හමුවීමට පැමිණි පළමු රාජ්‍ය නායකයා වූයේ ෂෙන්සෝ අබේය. අබේ සහ ට්‍රම්ප් අතරේ හමුවට ට්‍රම්ප්ගේ වැඩිමල් දියණිය ඉවන්කා ද එක්වූවාය.
ට්‍රම්ප්ගේ ව්‍යාපාර කටයුතු බලා ගන්නේ 35 හැවිරිදි ඉවන්කාය. මැතිවරණ රැළිවලදී ද ට්‍රම්ල්ගේ ළඟින්ම හිඳිමින්, ඡන්ද ප්‍රචාරක කටයුතුවලට සහාය දුන්නේ ද ඇයයි. ජපන් අගමැති අබේ සහ ට්‍රම්ප් අතරේ පැවැති සාකච්ඡාවලට ඉවන්කා සහභාගී වූයේ ඇයිදැයි විමසමින් බොහෝ දෙනා ඇය එසේ සහභාගී වීම සම්බන්ධයෙන් විරෝධය පා ඇතැයි ද ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.


RECOMMEND POSTS