මෝදිගේ නව ඇමැති මණ්ඩලය
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ නව කැබිනට් මණ්ඩලය සාමාජිකයන් 58 දෙනකුගෙන් සමන්විත වන අතර ඇමැතිවරුන්ට ඔවුන්ගේ අමත්‍යාංශ බාරදීම ඊයේ (31) සවස සිදුවිය.
මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීම කළේ පක්ෂයේ සභාපති අමිත් ෂා ය. වසර ගණනාවක් තිස්සේ මෝදිගේ දේශපලන හිතවාදියා ලෙස අමිත් ෂා සැලකෙයි. 54 හැවිරිදි අමිත් ෂා ට ස්වදේශ කටයුතු අමත්‍යාංශය හිමිවී ඇත. 2014 මැතිවරණයේදී ද භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කරා යෑමට කැපී පෙනෙන මෙහෙවරක් කළ අයකු ලෙස අමිත් ෂා සැලකෙයි.
මෝදිගේ කලින් රජයේ ආරක්ෂක අමාත්‍යවරිය වූ නිර්මලා සීතාරාමන්ට මෙවර මුදල් ඇමැති ධුරය හිමිවී ඇත. ඉන්දියාවේ මුදල් ඇමැති ධුරය කාන්තාවකට හිමිවුණු දෙවැනි අවස්ථාව මෙයයි. පළමු අවස්ථාවේ මුදල් ඇමැති ධුරය හිමිවුණේ හිටපු අගමැතිනී ඉන්දිරා ගාන්ධිටය.
ඉන්දීය මාධ්‍ය දෙවැනි ධුර කාලය සඳහා විශිෂ්ට ජන වරමක් හිමි මෝදි හඳුන්වා දී ඇත්තේ ‘මෝදි 2.0’ (මෝදි ටූ පොයිට් ඕ) වන නමිනි. ඒ, සුපිරි දමිළ අධ්‍යක්ෂකවරයකු වන ශංකර්ගේ බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවූ ‘ටූ පොයින්ට් ඕ’ චිත්‍රපටය සිහි කරමිනි. ‘ටූ පොයින්ට් ඕ’ යනු රජිනි කාන්ත් ‘චිට්ටි’ නමැති මිනිස් රොබෝ වීරයාගේ දෙවැනි සිනමා වික්‍රමයයි.
මෝදිගේ කලින් රජයේ මුදල් ඇමැති ලෙස කටයුතු කළේ අරුන් ජෙට්ලිය. විදේශ කටයුතු අමාත්‍යවරිය වූයේ සුෂ්මා ස්වර්ජ් ය. මොවුන් දෙදෙනා යළි ඇමැති ධුර බාර නොගන්නා බව පවසා ඇත.
එපමණක් නොව, ගාන්ධි නේරු පරපුරට සම්බන්ධකම් ඇති, භාරතීය ජනතා පක්ෂ සාමාජිකා මේනකා ගාන්ධි පවා මෝදිගේ නව රජයට සම්බන්ධ එක් නැත. භාරතීය රජයයන් හතරක් යටතේ මේනකා ගාන්ධි ඇමැති ධුර හොබවා තිබේ.
මෝදිගේ පසුගිය රජයේ කාන්තා සහ ළමා සංවර්ධන කටයුතු පිළිබඳ අමත්‍යාංශය හිමිවී තිබුණේ ඇයටය. 62 හැවිරිදි මේනකා ගාන්ධි යනු ඉන්දීය දේශපාලන සන්ජේ ගාන්ධිගේ බිරිඳය. සන්ජේ ගාන්ධි ඉන්දිරා ගාන්ධිගේ පුතෙකි. රාහුල් ගාන්ධිගේ පියා රජිව් ගාන්ධිගේ සොහොයුරාය. 1980 ජූනි 23 වැනිදා සිදුවුණු ගුවන් අනතුරින් තුවාල ලබා සන්ජේ ගාන්ධි මියගියේය.
මෝදිගේ නව රජයේ කාන්තා සහ ළමා සංවර්ධන කටයුතු පිළිබඳ ඇමැති ධුරය හිමිවූයේ ඉන්දීය ටෙලි නිළියක වන ස්මිර්ති ඉරානිටය. රාහුල් ගාන්ධි පරාජය කරමින් අමෙති අසුන ජයග්‍රහණය කළේ ස්මිර්ති ඉරානිය.
මෝදිගේ පළමු රජයේ සිවිල් ගුවන් කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කළේ ජයාන්ත් සිංහාය. නව කැබිනට් මණ්ඩලයට සින්හා ද නැත. ජයාන්ත් සිංහා යනු ප්‍රධාන පෙළේ භාරතීය ජනතා පක්ෂ සාමාජිකයකු වන යෂ්වෝන්ත් සිංහාගේ පුත්‍රයාය.
නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලය එසේත් නැතිනම් ලෝක්සභාව ආසන 545 කින් සමන්විතය. මෙවර අන් කවරදාටත් වඩා කාන්තා නියෝජනය වැඩියෙන් දකින්න ලැබෙන බව පැවැසෙයි. කාන්තාවන් 77 දෙනෙකු පාර්ලිමේන්තු වරම් ලැබී ඇත. ඒත් ඒ අතරින් කැබිකට් ධුර හිමිවූයේ තිදෙනකුට පමණි. ඇමැති ධුර හිමිවූයේ හයකට පමණි.
(එන්.ඩී.ටීවී.)