මෝදි-පුටින්-ජින්පින් පාකිස්තානය ගැන කතා කරති





(එන්.ඩී.ටීවී.)
බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාවේ එකමුතුවෙන් පැවැත්වෙන අටවැනි ‘බ්‍රික්ස්‘ රාජ්‍ය නායක සමුළුව ඊයේ (15) ඉන්දියාවේ ගෝවාහි ආරම්භ වුණු අතර, අද එය නිමාවට පත් වුණු අතර මෙම සමුළුවට සමගාමීව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ පාකිස්තානය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.
පසුගිය සැප්තැම්බරයේ පාකිස්තානයෙන් ආ බෙදුම්වාදී ‘ත්‍රස්තවාදීන්’ කණ්ඩායමක් ඉන්දු කාශ්මීරයේ ඉන්දියාවට අයත් හමුදා කඳවුරකට කඩා වැදී පහර දුන්නේය. එම ප්‍රහාරයෙන් පසු, ත්‍රස්තවාදයට ‘අනුගහය’ දක්වනවා යැයි ඉන්දියාව පාකිස්තානයට චෝදනා එල්ල කරන අතර දෙරට අතර යුද උණුසුමක් ද පවතී.
රුසියාව ඉන්දියාවේ පමණක් නොව, පාකිස්තානයේ ද සමීපතම හිතවතෙකි. ඉන්දියාව සමඟ දේශසීමා අර්බුද ඇති චීනය ද පාකිස්තානයේ සමීප මිතුරෙකි. රුසියාව ඉකුත් දා පාකිස්තානය සමඟ හවුලේ යුද අභ්‍යාසයක් ද පැවැත් වීය. චීනය පාකිස්තානය සමඟ ආයෝජන රැසකට අත ගැසුවේය.
රුසියාවේ සහ චීනයේ මෙම ක්‍රියාකලාපය ඉන්දියාවේ විරෝධයට හේතුවක් විය. ඉන්දීය අගමැති සහ රුසියන් ජනපති අතරේත්, චීන ජනපති අතරේත් සාකච්ඡා මෙම අර්බුදකාරී තත්ත්වයන් සාකච්ඡාවට බඳුන් වුණැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.
රුසියන් ජනාධිපති සහ චීන ජනාධිපති ඉන්දියාවට පැමිණි අවස්ථාවේදී ඔවුන් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ අගමැති මෝදි විසිනි. සමුළුවට සමගාමීව, ඉන්දීය අගමැතිවරයා පුටින් සමඟ පැය දෙකක් තිස්සේ සාකච්ඡා පැවැත්වීය.
‘එක පැරැණි මිතුරෙකු අලුත් මිතුරන් දෙදෙනකුට වඩා වටිනවා’ යැයි පැරැණි රුසියන් කියමනක් උපුටා දක්වමින් මෝදි, රුසියන් ජනපති පුටින්ට පැවැසුවේ ඉන්දියාවත් රුසියාවත් අතර පවතින මිතුදම් ශක්තිමත් බව පෙන්වා දෙමිනි.
රුසියාවත් ඉන්දියාවත් අතර පවතින මිත්‍රත්වය දශක හතක් තරම් ඈතට  දිවෙන බව ජනපති පුටින් අගමැති මෝදිට මතක් කර දුන්නේය. එම සාකච්ඡාවලින් පසු, සමුළුවට සමගාමීව, ඉන්දියාවත් රුසියාවත් අතර ද්වීපාර්ශ්වික ගිවිසුම් 16 කට අත්සන් තැබුණු බව ද වාර්තා වේ. ඊට ඉන්දීය රුපියල් කෝටි 39,000 ක වටිනාකමකින් යුත් ආරක්ෂක ගිවිසුමක් ද ඇතුළත් වෙයි.
සාකච්ඡාවලින් පසු ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින්, රුසියන් ජනාධිපති පුටින් සහ මෝදි තරයේ කියා සිටියේ ‘ත්‍රස්තවාදයට’ කිසිසේත් ඉඩක් ලබා දීමට තමන් කටයුතු කරන්නේ නැති බවය.
‘බ්‍රික්ස්‘ සමුළුවේ අරමුණ ඊට සම්බන්ධ රටවල් අතරේ දෙශපාලනික සහ ආර්ථිකමය වශයෙන් ස්ථාවරත්වයක් ඇති කිරීමය. බ්‍රි‘ක්ස්‘ සමුළුවක් පළමුවෙන් ආරම්භ වූයේ 2011 වසරේදීය.
සෑම වසරකම පැවැත්වෙන බි්‍රක්ස් සමුළුවට ආරාධිතයන් ලෙස රාජ්‍ය කිහිපයක රාජ්‍ය නායකයන්ට ඇරැයුම් කෙරේ. මෙවර සමුළුවට ශ්‍රී ලංකාවට ද ඇරැයුම් ලැබී තිබුණි.

 


RECOMMEND POSTS