මෝදි-ඉම්රාන් හමුවක් නෑ
ෂැංග්හායි සහයෝගීතා සමුළුව, ලබන 13 වැනිදා සහ 14 වැනිදා කිර්ගිස්තානයේ බිෂ්කේක් නුවරදී පැවැත්වෙන අතර, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පමණක් නොව, පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ද ඊට සහභාගී වෙති.
අගමැති මෝදි පසුගිය මහ මැතිවරණයෙන් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළ අවස්ථාවේදී පාකිස්තාන අගමැති ඉම්රාන් මෝදිට ඇරැයුම් කළේ දේශපාලනය පසෙකළා ඉන්දු කාශ්මීර අර්බුදය අවසන් කිරීමට සාම කතා සඳහා පැමිණෙන ලෙසටය.
බිෂ්කේක් නුවර ෂැංග්හායි සහයෝගීතා සමුළුව අතරතුරේ නරේන්ද්‍ර මෝදි සහ ඉම්රාන් ඛාන් අතරේ සාකච්ඡා පැවැත්වෙනු ඇතැයි බොහෝ දෙනාගේ අපේක්ෂාව විය. කෙසේ නමුත් එවැනි හමුවක් නොපැවැත්වෙන බව ඉන්දීය අගමැති කාර්යාලය තහවුරු කර ඇතැයි ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර තිබේ.
අගමැති මෝදි දෙවැනි වරට දිවුරුම් දීමේ උත්සවයට අසල්වැසි කලාපීය රාජ්‍ය නායකයන්ට ඇරැයුම් කර තිබුණු නමුත් පාකිස්තාන අගමැති ඉම්රාන්ට ඇරැයුම් කර නොතිබුණි. ඉන්දීය දේශපාලන විශ්ලේෂකයන් පවා පෙන්වා දී ඇත්තේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ජාතිකවාදී අදහස් පසෙකලා ඉන්දු පාකිස්තාන අර්බුදය විසඳා ගැනීමට සාකච්ඡා පැවැත්විය යුතුයි කියාය.
ෂැංග්හායි සහයෝගිතා සමුළුව යනු චීනය, රුසියාව, කසක්ස්තානය, කිර්ගිස්තානය, උස්බෙකිස්තානය, ටජිකිස්තානය එක් වී පිහිටුවා ගත් වෙළෙඳ සහ ආර්ථික සහයෝගීතා සමුළුවකි.
නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)