මෝදි ඉම්රාන් මඟහැර යයි



ෂැංග්හායි සහයෝගීතා සමුළුව, මධ්‍යම ආසියාවට අයත් කිර්ගිස්තානයේ බිෂ්කේක් අගනුවර ආරම්භ වූ අවස්ථාවේ, සමුළුවට සහභාගී වන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී, සාකච්ඡා පැවැත්වූ නමුත් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මඟහැර ගිය බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් පවතින්නේ, පසුගිය පෙබරවාරි 14 වෙනිදා, පාකිස්තානයේ ක්‍රියාත්මක ඉස්ලාමීය ත්‍රස්තවාදීන් ඉන්දු කාශ්මීරයේ ඉන්දීය දේශසීමා පොලිස් භටයන් ඉලක්ක කර ගනිමින් බෝම්බ පුපුරුවා හැරීමේ සිදුවීමත්, ඉන්පසු සිදුවුණු සිදුවීම් පෙළත් මුල්කොට ගනිමිනි.

පාකිස්තානයේ ක්‍රියාක්මක ඉස්ලාමීය ත්‍රස්තවාදී සහ අන්තවාදී කණ්ඩායම්වලට පාකිස්තාන රජය අනුග්‍රහය දක්වන බවටත්, එම ත්‍රස්තවාදීන් සහ අන්තවාදීන් මර්දනයට පාකිස්තාන රජය ගන්නා ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවටත් ඉන්දියාව චෝදනා කරයි.

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් අවස්ථා ගණනාකදී ඉන්දීය අගමැති මෝදි හමුවී සාම සාකච්ඡා පැවැත්වීමට කැමැති බව පැවැසුවත්, ඉන්දීය අගමැති මෝදි ඊට යහපත් ප්‍රතිචාර දැක්වූයේ නැත. මෙම ෂැංග්හායි සමුළුවට සමගාමීව, මෝදි සහ ඉම්රාන් ඛාන් අතරේ සාම කතා පැවැත්වේවි බලාපොරොත්තුවක් පැවැතියත් එය ද බොඳවී ගියේය.

ෂැංග්හායි සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයන් වෙනුවෙන් කිර්ගිස්තාන ජනාධිපති සූරොන්බේ ජීන්බෙකෝව් සංවිධානය කළ රාත්‍රී භෝජන සංග්‍රයේදී පවා ඉන්දීය අගමැති මෝදි, පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මඟහැර ගිය බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

බිෂ්කේක්හිදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS