මෙක්සිකෝ ගිනිකෙළි පොළක පිපිරීමකින් 30 දෙනෙක් මියයති
පිළිස්සුම් තුවාල ලැබූ 75 ක් රෝහලේ
මෙක්සිකෝවේ ගිනිකෙළි පොළක සිදුවුණු මහා පිපිරීමකින් පුද්ගලයෝ 30 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ 75 දෙනෙක් රෝහල් ගත කෙරුණි.
තුවාලකරුවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් මෙක්සිකෝ නුවර බලධාරීහු පවමති. රතිඤ්ඤා, මල්වෙඩි ආදී ගිනිකෙළි පිරුණු මෙම ගිනිකෙළි පොළ පිහිටියේ ටුල්ටෙපෙක් නගරයේය.
මෙය මෙක්සිකෝවේ විශාලතම ගිනිකෙළි පොළ ලෙසින් ද හැඳින්විණි. වාර්ෂිකව පැවැත්වෙන මෙම පොළ මෙම වසරේ ද ආරම්භ වූයේ නව වසර වෙනුවෙන් ගිනිකෙළි අලෙවිය සඳහාය. සියයකට වැඩි පිරිසක් පිපිරීම සිදුවන අවස්ථාවේදී පොළට පැමිණ සිටියහ. පළමුවෙන් අලෙවි කුටි කිහිපයක් ගිනිගෙන පිපිරී ගියේය. ඉන්පසු මහා පිපිරීමක් සිදුවිය.
මෙක්සිකෝ සිටී නුවර ආණ්ඩුකාර යුරේවියෙල් අවිලා මාධ්‍ය හමුවේ කියා සිටියේ තුවාලකරුවන් කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගත් බවය. පිපිරීමත් සමඟ හටගත් ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට සහ අවට ප්‍රදේශවාසීන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට ද සිදුවුණැයි ආණ්ඩුකාර යුරේවියෙල් අවිලා වැඩි දුරටත් කියා සිටියේය.
පිපිරිම් සහ ගින්නෙන් ගිනිකෙළි වෙළෙඳපොළ මුළුමනින්ම විනාශ විය. මෙක්සිකෝ මාධ්‍ය වාර්තා කළේ ගිනිකෙළි අලෙවි කුටි 250 කට වැඩි ප්‍රමාණයක් තිබුණු බවය.
පිපිරීම්වලට සහ ගින්නට හසුවී මියගිය පිරිස් වෙනුවෙන් මෙක්සිකෝ ජනාධිපති එන්රීක් පෙනා නීටෝ, ට්විටර් පණිවුඩයක් හරහා ශෝක පණිවුඩයක් නිකුත් කළ බව මෙක්සිකෝ පුවත් සේවා වැඩි දුරටත් සඳහන් කළේය.
මෙක්සිකෝ සිටීහිදීය (රොයිටර්)