මියන්මාරයට පනවා තිබුණු ඇමෙරිකානු සම්බාධක ඉවත් කෙරේ
(රොයිටර්)
මියන්මාරය (බුරුමය) ට පනවා තිබුණු සම්බාධක ඉවත් කිරීමට ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා සහ රජය පෙරේදා (08) පියවර ගත්තේය.
ඇමෙරිකාව තවමත් මියන්මාරය හඳුන්වන්නේ එහි පැරැණි නම වන ‘බුරුමය’ ලෙසිනි. හමුදා පාලනය අවසන් වීමෙන් පසු ප්රජාතන්ත්රවාදී ගමනක නියැළෙන බුරුම රජය පැවැසුමට ලක් කරමින් සම්බාධක ඉවත් කරන බව ඔබාමා පවසා ඇත.
පසුගිය මාසයේ මියන්මාර විදේශ ඇමැතිනිය මෙන්ම එරට රාජ්‍ය මන්ත්‍රණ සභා සාමාජිකාවක ද වන අවුන් සාන් සූ කී ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී පැමිණ ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා හමුවූවාය. සූ කී, ඇමෙරිකාවට පැමිණියේ එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගී වීම සඳහාය.
බුරුම විදේශ ඇමැතිනිය මෙන්ම එරට ප්රජාතන්ත්රවාදය සඳහා වන ජාතික ලීගයේ නායිකාව ද වන්නේ සූ කී ය. බුරුම හමුදා පාලනය යටතේ වසර ගණනක් නිවාස අඩස්සියේ රැඳවා තැබුණු සූ කී නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලබා ඇත.
අවුන් සාන් සූ කීගේ ප්රජාතන්ත්රවාදය සඳහා වන ජාතික ලීගය බලයට පත් වූයේ පසුගිය නොවැම්බරයේ පැවැති මහ මැතිවරණයෙනි. ඒ වසර 49 ක් තිස්සේ පැවැති හමුදා පාලනය අවසන් කරමිනි. එම මැතිවරණයේදී ජාතන්ත්රවාදය සඳහා වන ජාතික ලීගය බහුතර බලය දිනාගෙන බලයට පත් වුවත්, එහි නායිකාව ලෙස සූ කීට ජනපති ධුරයට පත් වීමට නොහැකි විය. ඒ එරට හමුදා පාලකයන් විසින් සකස් කරනු ලැබ ඇති ව්‍යවස්ථාවට අනුවය.
සූ කී විදේශිකයකු සමඟ විවාහ වී සිටි නිසා ව්‍යවස්ථාවට අනුව ඇයට ජනපති ධුරයට පත් වීමට නොහැකි විය. ඇගේ මියගිය සැමියා බි්රතාන්ය වැසියෙකි. සූ කී වෙනුවට ජනපති ධුරයට පත් කෙරුණේ ප්රජාතන්ත්රවාදය සඳහා වන ජාතික ලීගයේ ජ්‍යෙෂ්ඨයකු වන හිටින් කෝව් ය.
සූ කී නිවාස අඩස්සියෙන් නිදහස් වීමෙන් පසුව, ප්රජාතන්ත්රවාදී රාමුවක් තුළ කටයුතු කරනවා යැයි හමුදා පාලකයෝ පැවැසූහ. එම අවස්ථාවේදී ඇමෙරිකාව බුරුමයට පනවා තිබුණු සම්බාධක ලිහිල් කළේය. පෙරේදා දිනයේ ඉවත් කෙරුණේ එසේ ලිහිල් කළ සම්බාධකය.