මත්පැන් විසවෙලා 100 ක් මැරිලා
නීතිවිරෝධී මත්පැන් පානය කිරීමෙන් ඉන්දියාවේ ප්‍රාන්ත දෙකක 100කට වැඩි පිරිසක් මරුමුවට පත්ව ඇතැයි එරට පොලිස් හා මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
වසර ගණනකට පසු වාර්තා වූ දරුණුම සිදුවීම මෙය යැයි ද එම වාර්තාවල දැක්විණි.
මෙලෙස මියගොස් ඇත්තේ උත්තරකාන්ද ප්‍රාන්තයේ හරිද්වාර් හි පිරිසක් සහ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක දෙකක පිරිසකි. මිය යෑමට පෙර ඔවුන් ආමාශයේ වේදනා සහ හුස්ම ගැනීමේ අපහසුතා පිළිබඳව පවසා ඇතැයි වාර්තා වේ. මියගිය පිරිසගේ ඥාතීන් ඒ පිළිබඳව නිලධාරීන්ට දැනුම් දී තිබේ.
මෙම මරණවලට සම්බන්ධ යැයි කියන සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව හරිද්වාර්හි පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය.
“හරිද්වාර්හි පමණක් මියගිය සංඛ්‍යාව 36ක්. තවත් 18 දෙනකුට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබනවා” යැයි ද ඔහු කීවේය.
එසේ වුවත් උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ මියගිය සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත තොරතුරක් වාර්තා නොවූවද එම ප්‍රාන්තයේ පමණක් මියගිය ගණන 69 ක් යැයි ‘ඉන්දියන් එක්ස්ප්‍රස්’ සහ ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ යන පුවත්පත් වාර්තා කර තිබිණි.
ඉහළ ප්‍රමිතියෙන් යුතු ස්ප්‍රීතු මිලදී ගැනීමට නොහැකි නිසා ඉන්දියාවේ බොහෝ දෙනා “හූච්” හෝ “පොල් අරක්කු” හෝ යනුවෙන් හඳුන්වන මත්පැන් වර්ගය පානය කරති. එය නීතිවිරෝධීව නිෂ්පාදනය කරන්නක් බව පැවසේ.
මෙවැනි සිදුවීමකින් 2011 වසරේදී බටහිර බෙංගාලයේදී 172 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
හර්ෂණ තුෂාර සිල්වා
රොයිටර්ස් ඇසුරිනි