බ්‍රසීල ජනපතිනී දිල්මා රුසෙෆ්ට ධුරට අහිමි වෙයි
(බ්‍රසීලියා)
අයවැය අත්තනෝමතික ලෙස සකස් කළ බවටත් බලතල අනිසි ලෙස භාවිතයට ගැනීම ආදී චෝදනා සම්බන්ධයෙන් දෝෂාභියෝගයකින් පරාජයට පත් වී තාවකාලිකව ධුරයෙන් ඉවත් වීමට සිදුවුණු බ්‍රසීල ජනපතිනී දිල්මා රුසෙෆ්ට ඊයේ (31) සිය ධුරය සදහටම අහිමි විය.
ඒ එරට සෙනෙට් මණ්ඩලය හමුවේ පැවැති ඡන්ද විමසුමකදී තුනෙන් දෙකකට වැඩි බහුතරයක් ඇයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමත් සමඟය.
ජනපතිනී දිල්මා රූසෙෆ්ට එරෙහි දෝෂාභියෝගය ගෙන එන ලද්දේ පසුගිය මැයි මාසයේදීය. එම අවස්ථාවේදී සෙනෙට් මණ්ඩලයේ බහුතරයක් ඡන්දය ප්‍රකාශ කළේ දිල්මා රූසෙෆ්ගේ ජනපති ධුරය තාවකාලිකව අත්හිටුවීමට කැමැත්ත පළ කරමිනි.
ඒ අනුව ඇය තාවකාලිකව ජනපති ධුරයෙන් ඉවත් වූයේ උප ජනපති මයිකල් ටෙමර්ට බලය පවරා දෙමිනි. පෙරේදා ජනපති ධුරය අහිමි වීමත් සමඟ තාවකාලිකව එම ධුරයේ සිටි මයිකල් ටෙමර් එම ධුරයේ දිවුරුම් දීමට ද නියමිතය.
බ්‍රසීලයේ ජනපති ධුරයට පත් වුණු පළමු කාන්තාව දිල්මාය. ඇය හිටපු ජනපති ලූලා ද සිල්වාගේ අනුප්රාප්තිකාවය. ලූලා ද සිල්වාට ද මූල්‍ය වංචා චෝදනා එල්ල වී ඇත.
එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් දිල්මාට එරෙහිව ඉදිරියේ දී නඩු විභාගයක් ද පැවැත් වෙනු ඇතැයි බ්‍රසීල පුවත් සේවා වාර්තා කරයි. මේ අතර දිල්මා රුසෙෆ්ගේ ආධාරකරුවෝ ඇයට එරෙහිව ලබා දුන් තීන්දුව ප්‍රතික්ෂේප කරමින් බ්‍රසීලියා අගනුවර විරෝධතා රැලියක් ද සංවිධානය කර තිබුණි. එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් දිල්මා පවසන්නේ ඇය නිර්දෝෂී බවය.