පිලිපීන ජනපති ඩුටරේට්ගේ පළමු දින 90 ඉතා සාර්ථකයි



මැනිලාහිදීය (රොයිටර්)

රොඞ්රිගෝ ඩුටරේට් පිලිපීනයේ ජනපති ධුරයට පත් වී දින 90 ක් ගතවී ඇති බවත් එම කාලයේ ඔහු රටේ ජනතාවගේ, දේශපාලන විචාරකයන්ගේ පමණක් නොව, විපක්ෂයේ ද ප්‍රසාදය දිනා ගෙන සිටින බව එරට පුවත් සේවා ඊයේ (6) වාර්තා කළේය.

ඩුටරේට් ජනපති ධුරයට පත් වූයේ පසුගිය ජූනි 30 වැනිදාය. අපරාධකරුවන්ට, විශේෂයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ ඔවුන්ට සහාය දක්වන පුද්ගලයන්ට එරෙහිව දළදඬු තීන්දු තීරණ ගැනීමට ඩුටරේට් කටයුතු කළේය. ඔහු ජනපති ධුරයට පත් වූයේ ද එසේ කරනවා යැයි ජනතාවට පොරොන්දුවක් දෙමිනි. 

අපරාධ පිටුදැකීමේ අරමුණින්, මරණ දඬුවම යළි ගෙන ඒමට ද ඩුටරේ කටයුතු කළ අතර ඔහු අවස්ථා කිහිපයකදී පවසා තිබුණේ  පුළුවන්කමක් තිබේ නම් ස්ත්‍රී දූෂකයන් සහ මිනීමරුවන් දෙවරක් එල්ලා මරා දැමීම කළ යුතු බවය.

පිලිපීනයේ මරණ දඬුවම අත්හිටුවනු ලැබුවේ 2006 වසරේදීය. එය යළි ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ජනපතිවරයාට එරට කොංගස් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය ද හිමිවිය. 71 හැවිරිදි රොඞ්රිගෝ ඩුටරේ දැඩි මතධාරියෙකි. ‘ඩිගොන්’ යන අන්වර්ථ නාමයෙන් ද හැඳින්වෙන මොහු නියෝජනය කරන්නේ පීඩීඒ ලබාන් පක්ෂයයි. රොඞ්රිගෝ ඩුටරේ දීර්ග කාලයක් දකුණුදිග ඩාවෝ නගරයේ නගරාධිපති ධුරය හෙබවීය. 

ඩුටරේට් ජනපති ධුරයට පත් වී ගතවුණු එම දින 90 කාලයේ රොඞ්රිගෝ ඩුටරේට් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල අප්‍රසාදයට ලක් වී සිටී. ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයට සෘජුවම දොස් නගයි. පසුගිය දා ද රොඞ්රිගෝ ඩුටරේට් යළිත් වරක් ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමාට දොස් කීවේය.

පිලිපීනය ඇමෙරිකාවෙන් ආයුධ මිලදී ගැනීමට උත්සාහ කර ඇති නමුත් ඇමෙරිකාව පිලිපීන රජයට ආයුධ ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඩුටරේට් එරට මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලිවලට එරෙහිව දළදඬු තීරණ ගැනීම හෙළා දකිමිණි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ජනපති ඩුටරේට් ආරම්භ කළ මෙහෙයුම්වලින් ගතවුණු මාස තුනක කාලයේ 3,400 දෙනකු මියගොස් ඇතැයි ද වාර්තා වේ.

මෙය මානව හිමිකම් කඩ කිරීමක් යැයි ඇමෙරිකාව චෝදනා කර ඇත. ඇමෙරිකාව, පිලිපීනයට ආයුධ ලබා දීම ප්‍රතික්ෂේප කළේ ද එහෙයිනි. ඇමෙරිකා ජනපති ඔබාමාට බැන වදිමින්, පිලිපීන ජනපතිවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ ඇමෙරිකාව ප්‍රතික්ෂේප කළත් රුසියාව සහ චීනය තමන්ට ආයුධ ලබා දීමට කැමැත්ත පළ කර ඇති බවය.


RECOMMEND POSTS