පිලිපින පොලිස් වෑන් රියට යටවී විරෝධතාකරුවෝ 30 ක් රෝහලේ
(අල් ජසීරා පුවත් ඇසුරිනි)
ඇමෙරිකාව සමඟ උරණ වී, ඇමෙරිකා රජය සමඟ පවතින හිතවත්කම් අඩු කිරීමට පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩුටරේස් ගත් තීරණයට සහාය පළ කරමින්, ඇමෙරිකා විරෝධී රැලියක් මැනිලා අගනුවර ඇමෙරිකා තානාපති කාර්යාලය ඉදිරියේ පෙරේදා (19) පැවැත්විණි.
පොලු අතැතිව කලහකාරී ලෙස හැසිරෙමින් සිටි 1,000 කට වැඩි එම විරෝධතා පිරිස මෙල්ල කිරීමට හෝ විසුරුවා හැරීමට මැනිලා නුවර පොලිසියට නොහැකි විය. විරෝධතාකරුවෝ පොලිස් නිලධාරීන්ටත් ඔවුන්ගේ වාහනවලටත් පොලුවලින් පහර දෙන්න වූහ.
විරෝධතාකරුවන් එසේ කලහ කරද්දී, එක් පොලිස් වෑන් රියක් එම ස්ථානයෙන් ඉවත්වීමට තැත් කෙරුවේ විරෝධතාකරුවන් ද හප්පමින් සහ ඔවුන් යට කරමිනි. එම දසුන් ‘අල් ජසීරා’ පුවත් සේවය ඔවුන්ගේ පුවත් හරහා ප්රසිද්ධියට පත් කළේය.
වෑන් රථය පැදැවූ පොලිස් නිලධාරියා පසුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරුණු අතර, එම පොලිස් නිලධාරියා පසුව පැවැසුවේ, විරෝධතාකරුනක් වෑන් රිය අත්පත් කර ගැනීමට උත්සාහ කළ බවත් ඊට බියවී ඔහු එතැනින් පලා යෑමට උත්සාහ කළ බවත්ය.
පොලිස් වෑන් රියට යටවී තුවාල ලැබූ විරෝධතාකරුවන් 30 දෙනකු රෝහල්ගත කළ බව පොලිසිය පවසා තිබේ.
පිලිපීනය සහ ඇමෙරිකාව අතර ඇතිකරගෙන තිබෙන එකඟතාවකට අනුව, එරට ඇමෙරිකන් හමුදාවෝ රැඳී සිටිති. මැනිලා නුවර ඇමෙරිකන් තානාපති කාර්යාලය ඉදිරියට රැස්වුණු විරෝධතාකරුවෝ පිලිපින ජනපතිට බල කරන්න වූයේ එම සොල්දාදුවන්ට ආපසු යන්නැයි දන්වන ලෙසය. විරෝධතවට එක්වූවෝ බහුතරය විශ්ව විද්යාල සිසුහුය.