පාකිස්තානය වෙනුවෙන් චීනය හඬ අවදි කරයි
(රොයිටර්)
ත්රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයක් යැයි ඉන්දියාව දිගින් දිගටම පාකිස්තානයට චෝදනා එල්ල කිරීමත් සමඟ චීනය පාකිස්තානය වෙනුවෙන් හඬ නැගීය.
‘කවුරුත් හොඳින් දන්නවා ඉන්දියාව සහ පාකිස්තානය ත්‍රස්තාදය නිසා අසරණ වුණු රටවල් දෙකක්. ත්‍රස්තවාදය වැළැක්වීමටත් මර්දනය කිරීමටත් පාකිස්තානය අවංක උත්සාහයක් ගන්නවා. එම උත්සාහය අන්තර් ජාතික ප්‍රජාව ඇගැයීමට ලක් කළ යුතුයි. කිසිම රටක් ත්රස්තවාදයට අනුග්‍රහය දැක්විය යුතු නැහැ. ත්රස්තවාදයට අනුග්‍රහය දැක්වීම චීනය අනුමත කරන්නේ නැහැ. චීනයේ ස්ථාවරය මෙයයි.’ යැයි චීන රජය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමත්‍යාංශයේ ප්‍රකාශිකා හුවා චුන්ග්වින්ග් පාකිස්තානය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් මෙසේ පැවැසුවාය.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පාකිස්තානයට යළිත් වරක් ‘දෙහි කැපුවේ’ පසුගිය සති අන්තයේ ඉන්දියාවේ ගෝආ හි පැවැති ‘බ්‍රික්ස්’ සහ ‘බිම්ස්ටෙක්’ රාජ්‍ය නායක සමුළුවේදීය. එහිදී මෝදි අවධාරණය කළේ පාකිස්තානය ත්‍රස්තවාදය වපුරන බවත්, එය ආසියානු කලාපයට විශාල තර්ජනයක් බවත්ය.
මෙම සමුළුවට චීන ජනාධිපති ෂී ජිංපින් ද සහභාගී වූයේය. සමුළුවට සමගාමීව මෝදි සහ චීන ජනපති අතරේ ද පාකිස්තානය සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් පැවැත්විණි. පාකිස්තානය ඉන්දියාවට වඩා චීනයේ මිතුරෙකි.
බ්‍රික්ස්’ සහ ‘බිම්ස්ටෙක්’ සමුළු පැවැත් වූයේ පසුගිය 15 සහ 16 වැනිදාය. සමුළුවට සහභාගී වුණු රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද පාකිස්තානයේ මිතුරෙකි. මෝදි සහ පුටින් අතරේ ද පාකිස්තානය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි.