පාකිස්තානය ත්‍රස්තවාදින් 5100ගේ බැංකු ගිනුම් තහනම් කරයි



ත්‍රස්තවාදී සැකකරුවන්ගේ 5100 කට අධික බැංකු ගිණුම් තහනම් කිරීමට පාකිස්තානු රජය පියවර ගෙන ඇත.
එම ගිණුම්වල තැන්පත් කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 400 ඉක්මවන බවද එරට රජය කියා සිටී.
ඉන්දියාවේ පතන්කොට් ගුවන් කඳවුරට ප්‍රහාරයක් එල්ල කළ බව සැළකෙන ජයිෂ් ඊ මොහොමඞ් සංවිධානයේ නායක මසූඞ් අසාර්ගේ ගිණුමද ඊට අයත් බව ඉන්දීය මාධ්‍ය වර්තා කළේය. පාකිස්තානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව අදාළ බැංකු ගිණුම් තහනම් කළ බව පාකිස්තානු මහ බැංකුව ප්‍රකාශ කළේය.
මේ අතර පාකිස්තානයේ ක්වෙටා නුවර පොලිස් අභ්‍යාස මධ්‍යස්ථානයට පෙරේදා රාත්‍රියේ එල්ලවූ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 59 දක්වා ඉහළ ගොස් ඇත. එහිදී තවත් 117 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
පාකිස්ථානයේ බලොචිස්ථාන් ප්‍රාන්තයේ අගනුවර වන ක්වෙටා හි රෝහලක් සහ නීතීඥයන් ඉලක්ක කරගෙන පසුගිය අගෝස්තුවේ එල්ලවූ ප්‍රහාරයෙන් පසු එහි වාර්තාවූ දරුණුතම ප්‍රහාරය මෙයයි.
ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු කණ්ඩායමක් මෙතෙක් වගකීම භාරගෙන නොමැති අතර එය ලෂ්කාර් ඊ ජාන්ග්වි සන්නද්ධ කල්ලිය විසින් එල්ල කරන්නට ඇතැයි සැළකේ.

(අල් ජසීරා ඇසුරෙනි)


RECOMMEND POSTS