ප්‍රබල භූමි කම්පා දෙකකින් ඉතාලිය කැළැඹේ
(රොයිටර්)
උතුරු සහ මධ්‍යම ඉතාලියේ පළාත් රැසක් ඊයේ (26) රාත්‍රියේ ප්‍රබල භූමි කම්පා දෙකකින් කැළැඹිණි.
පළමු භූමි කම්පාව හටගත්තේ ඉතාලි වේලාවෙන් සවස 7.10 ට පමණය. එහි ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 5.4 ක් සටහන් කළේය. ඉතාලියේ රෝම අගනුවරට කිලෝ මීටර් 80 ක් දුරින් මෙම භූමි කම්පාව හටගත්තත් එහි ප්රබලත්වයට රෝමයේ නිවාස සහ ගොඩනැගිලි පවා සෙලවී ඇතැයි වාර්තා වේ.
දෙවැනි භූමි කම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 6 ක ප්‍රබලත්වයක් සටහන් කළේය. එය එය සිදුවූයේ පළමු භූමිකම්පාවෙන් පසු පැය දෙකක් ගත වෙද්දීය.
භූමි කම්පාවලින් කැළැඹී ගියේ විසෝ, උසිටා, කැස්ටෙල් සැන්ටැන්ග්ලෝ සුල් නූරා යන පළාත් සහ නගරය. භූමි කම්පාවලින් පසු විදුලි බල සැපැයුම්වලට හානි සිදුවිය. බලධාරීන් අද (27) කියා සිටියේ විදුලි බල සැපැයුම යළි යථා තත්ත්වයට පත් කිරීමට කඩිනමින් පියවර ගන්නා බවය. භූමි කම්පා දෙක හට ගත්තේ පෙරුගියා සහ විසෝ යන නගර අතරේය.
භූමි කම්පා හේතුවෙන් වාර්තා වූයේ එක් මරණයක් පමණි. මියගියේ 73 හැවිරිදි මහල්ලෙකි. ඔහු හෘදයාබාධයකින් මියගිය බව ඉතාලි පුවත් සේවා වාර්තා කළේය.
තුවාල ලැබුවන් කිහිප දෙනකු රෝහල් ගතකර ඇති බවත් ඔවුන්ගේ තත්ත්වයන් බරපතළ නොවන බවත් වාර්තා වේ. නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවිය. මීට අමතරව භූමිකම්පා හේතුවෙන් දුම්රිය ගමන් ද අඩාල වී ඇති බව වාර්තා වේ.
භුමි කම්පා හටගත්තේ රාත්‍රී කාලයේ හේතුවෙන් ඉතාලි වැසියෝ මහත් සේ බියට පත් වූහ. ඔවුහු නිවාසවලින් පිටතට පැමිණ මාර්ගවල රැය පහන් කළහ.
පසුගිය අගෝස්තු 24 වැනිදා ඇමටී්රස් නමැති කඳුකර ගම්මානය භූමි කම්පාවකින් මුළුමනින්ම විනාශ විය. එම භූමි කම්පාවේ ප්‍රබගත්වය රික්ටර් පරිමාණයේ සටහන් වූයේ ඒකක 6.2 ක් ලෙසිනි. එම භූමි කම්පාවෙන් මියගිය ගණන 300 ඉක්මවීය.