ප්‍රංශ ජනාධිපති ඔලන්දේ දෙවන වරට ඉදිරිපත්වන්නේ නැතිලු
(රොයිටර්)
තමා දෙවැනි ධුර කාලයක් සඳහා ජනාධිපතිවරණයට ඉදිරිපත් නෙවාන බව ප්‍රංශ ජනාධිති ෆ්රාන්සුවා ඔලෝන්ද් පැවැසීය. ඔහුගේ මෙම තීරණය බොහෝ ප්‍රංශ ජාතිකයන්ගේ පුදුමයට හේතු වී ඇතැයි ද පැවසේ.
ඒ අනුව රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ෆ්රාන්සුවා ෆිලෝන් සහ අන්ත දක්ෂිණාංශික ප්‍රංශ ජාතික පෙරමුණේ නායිකා මරීන් ලූ පෙන් සමඟ තරග වැදීමට ඕල්න්දේගේ සමාජවාදී පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් වනු ඇත.
ඔහුගේ මෙම තීරණයත් සමඟ ප්‍රංශයේ සමාජවාදී පක්ෂය තවදුරටත් පසු බැසීමට ලක්ව ඇතැයි ද විශ්ලේෂකයෝ පවසති. ප්‍රංශ ජනාධිපති ෆ්රාන්සුවා ඔලෝන්ද් දෙවැනි වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ වසර 1958 න් පසු ධුරයේ සිටින ජනාධිපතිවරයකු දෙවැනි වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන පළමු අවස්ථාව මෙය වනු ඇත.
“මා සතුව තිබූ ජනප්‍රියත්වය කෙමෙන් පහළ යන බව මම දන්නවා. පෙර තිබූ තරම් සහයෝගයක් මට දැන් ලැබෙන එකක් නැහැ. එම නිසා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට මා තීරණය” කළා යැයි රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ප්‍රංශ ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළ ද ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි ඔහුගේ සමීපතමයෝ පවසති.
ප්‍රංශයේ මේ වනවිට ඉහළ විරැකියා අනුපාතයක් ද උද්ගත වී ඇත. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවටත් ජනාධිපතිවරයාටත් දැඩි ලෙස චෝදනා එල්ල වී ඇත. කෙසේ වෙතත් සමීක්ෂණ දත්ත, පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ආදිය අනුව ප්‍රංශ ජනාධිපති ෆ්රාන්සුවා ඔලෝන්ද් ප්‍රංශ ඉතිහාසයේ අඩුම ජනප්‍රියත්වයත් හිමි ජනපතිවරයාය.
ලබන වසරේ පැවැත්වෙන ප්‍රංශ ජනාධිපතිවරණය සඳහා එරට රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂයා ලෙස එරට හිටපු අගමැතිවරයකු වූ ෆ්රාන්සුවා ෆිලොන් තේරී පත්වූයේය.
ඔහු වත්මන් ජනාධිපති ෆාන්සුවා ඕලන්දේ හෝ ඔහු නියෝජනය කරන සමාජවාදී පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා පරාජයට පත්කර ප්‍රංශයේ මීළඟ ජනාධිපතිවරයා වනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී ඇත.
රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂයා තෝරාගැනීමේ ඡන්ද විමසීම පසුගිය 27 වැනිදා පැවැති අතර ඉන් එම පක්ෂයේ ප්‍රංශයේ හිටපු අගමැතිවරයකු වූ ෆ්රාන්සුවා ෆිලෝන් ජය ලැබීය. ඔහුගේ ප්‍රතිවාදියා වූයේ ඇලාන් ජූපේය.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ මෙන් ප්‍රංශ ජනාධිපතිවරණයෙන්ද එරට රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස තේරී පත්ව සිටින ෆ්රාන්සුවා ෆිලොන් ජයග්‍රහණය කරනු ඇතැයි විශ්ලේෂකයෝ ද අදහස් දක්වා ඇත.
ෆ්රාන්සුවා ෆිලොන් දැඩි මතධාරී රිපබ්ලිකන් පාක්ෂිකයකු ලෙස හැඳින්වෙන අතර ඇලාන් ජූපේ මධ්‍යස්ථ මතධාරියකු යැයි හැඳින්වේ.
ඇමෙරිකා ජනාධිපතිවරණයෙන් ඩොනල්ඞ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීම, බි්රතාන්යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට තීරණය කිරීම යනාදි ලෝකයට බලපෑ ප්‍රධාන සිදුවීම් අතරට ප්‍රංශ ජනාධිපතිවරණය ද එක්වනු ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
කෙසේ වෙතත් වත්මන් ප්‍රංශ අගමැති එරට සමාජවාදී පක්ෂයේ සාමාජික මැනුවෙල් වෑල්ස් සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයේ හිටපු ආර්ථික අමාත්‍ය එමානුවෙල් මැක්රොන් ජනපති අපේක්ෂක සටනට ඉදිරිපත් වනු ඇතැයි වාර්තා වේ. එමානුවෙල් පසුගිය අගෝස්තු මාසයේදී ආර්ථික අමාත්‍යධුරයෙන් ඉවත් වූ අතර ජනාධිපතවරණයේදී ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බව ද පවසා ඇත.
ප්‍රංශ ජනාධිපතිවරණයේ තෙවැනි ප්‍රධාන අපේක්ෂකයා වී ඇත්තේ එරට අන්ත දක්ෂිණාංශික ජාතික පෙරමුණේ නායිකා මරීන් ලූ පෙන්ය. මෙම සිදුවීම් සමඟ ප්‍රංශ දේශපාලනයේ අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වී ඇතැයි දේශපාලක විචාරකයෝ පවසති.
ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වට ලබන වසරේ අප්‍රේල් 23 වැනිදා පැවත්වීමට නියමිතය. එහිදි කිසිදු අපේක්ෂකයකුට බහුතර ඡන්ද ප්‍රමාණයක් ගැනීමට නොහැකි වුවහොත් දෙවැනි වටය එම වසරේ මැයි මස 7 වැනිදා පැවැත්වීමට නියමිතය.