පකිස්තානයේ පොලිස් ඇකඩමියට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය බැන් කී මූන් හෙළා දකී



 (රොයිටර්)

පාකිස්තානයට අයත් බලුකිස්තානයේ ක්වෙටා නුවර පොලිස් පුහුණු පාසලට ඊයේ (25) එල්ල වුණු ප්‍රහාරය තරයේ හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් පවසයි.
එම ‘තිරිසන් ප්‍රහාරයට’ සහ්බන්ධ සියලුම පාර්ශ්වයන්ට දඬුවම් ලබා දිය යුතු යැයි ද මහ ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටී. හමුදා පුහුණු පාසලට පහර දීම කළේ තමන්ට සහාය දක්වන සටන්කාමීන් යැයි අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තයෝ පවසති.
ප්‍රහාරයෙන් 61 ක් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 117 ක් යැයි වාර්තා විය. ප්‍රහාරය එල්ල වෙද්දී පාසලේ කැඩෙට් භටයන් 200 දෙනකු සිටි බව ද පැවැසෙයි.
ත්‍රස්තයන් වෙඩි තබමින් සහ අත්බෝම්බ දමා ගසමින් පොලිස් පුහුණු පාසලට කඩා වැදී ඇත්තේ එහි ආරක්ෂාවට සිටි පොලිස් භටයන් වෙඩි තබා ඝාතනය කරමින්ය. ඉන්පසු ත්‍රස්තයෝ එහි සිටි කැඩෙට් භටයන් ප්‍රාණඇපයට ගත්හ. 
පාකිස්තාන ආරක්ෂක අංශ වහා ක්‍රියාත්මකවී, පුහුණු පාසල වට කරමින් ත්‍රස්තයන්ට පහර දෙද්දී, ත්‍රස්තයන් ඔවුන් විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබූ පිරිස් මිනිස් පළිහක් ලෙස යොදාගත් බව ද වාර්තා විය. පැය 6 ක ගැටුමකින් පසු ප්‍රහාරයට පැමිණි ත්‍රස්තයන් හය දෙනා මරා දැමූ බව ද පැවැසිණි. 
 

RECOMMEND POSTS