නියුමෝනියාව වැළැඳුණු හිලරි වෙනුවට බිල් ක්ලින්ටන්



නියුමෝනියාව වැළැඳුණු

හිලරි වෙනුවට බිල් ක්ලින්ටන්

 

නිව්යෝක්හිදීය (රොයිටර්)

නියුමෝනියාවෙන් පෙළෙන ඇමෙරිකා ජනපති ධුර අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් වෙනුවට ඉදිරි දින කිහිපයේ දී මැතිවරණ රැළිවලට ඇගේ සැමියා මෙන්ම හිටපු ජනපතිවරයකු ද වන බිල් ක්ලින්ටන් සහභාගී වනු ඇතැයි හිලරි ක්ලින්ටන්ගේ මැතිවරණ ප්‍රචාරක සංවිධායකවරු කියති.

හිලරි ක්ලින්ටන්ගේ දෙස් විදෙස් ප්‍රතිපත්ති තමන් ද සියයට සියයක් අනුමත කරන හෙයින් ඇය වෙනුවෙන් පෙනී සිටීම තමන්ට ගැටලුවක් නොවන බව හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් පවසයි. හිලරි ක්ලින්ටන් මෙන්ම බිල් ක්ලින්ටන් ද නියෝජනය කරන්නේ ඩිමොක්‍රටික් පක්ෂයයි.

ඊයේ දිනයේ හිලරි ක්ලින්ටන් කැලිෆෝනියාවේ මැතිවරණ රැළිවලට එක් වීමට සූදානමින් සිටියත් ඇය අසනීප වූ හෙයින් එම රැළිවලට සහභාගී වීම ද අවලංගු කළාය.

හිලරි ක්ලින්ටන් හදිසියේ රෝගී වූයේ පසුගිය 12 වැනිදා 9/11 ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් පැවැත්වුණු සැමරුමකට සහභාගී වී සිටිද්දීය. ඇය එම සැමරුමට සහභාගී වී ආපසු ඇගේ රථය වෙත යද්දී දී සිහිසුන් වී ඇද වැටෙන්න ගියාය. ඇයට වැටෙන්න ඉඩ නොදී රියට ගොඩ කරවා ගත්තේ ඇගේ ආරක්ෂක අංශ ඇය වට කර ගනිමිනි. කෙසේ නමුත් ප්‍රතිකාර ලබමින් සිටින හිලරි ක්ලින්ටක් පවසා ඇත්තේ තමා එසේ වැටෙන්න නොගිය බවත්, දැන් තමාගේ සෞඛ්‍ය යහපත් තත්ත්වයට පත් වී ඇති බවත්ය.

68 හැවිරිදි හිලරි ක්ලින්ටන්ගේ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධාන වෛද්‍ය ලීසා බාර්ඩෙක් පවසා ඇත්තේ හිලරිගේ තත්ත්වය ගැන බිය විය යුතු නැති බවත් ඇයට කඩිනමින් ප්‍රතිකාර ලබා දීමට තමන් ක්‍රියා කළ බවත්ය.


RECOMMEND POSTS