නව ජගත් මහ ලේකම්ට ලොව නන්දෙසින් සුබ පැතුම්
(රොයිටර්)
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව මහ ලේකම්වරයා ලෙස පෘතුගාලයේ හිටපු අගමැති ඇන්තෝනියෝ ගුටරේස් පත්වීම ගැන ලෝක නායනයන් බොහෝ දෙනාගේ සතුට පළ වී ඇති අතර ඔවුන්ගෙන් නව මහ ලේකම්වරයාට සුබ පැතුම් ද හිමි වී ඇත.
සාමාජික රටවල් 193 කින් සමන්විත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව මහලේකම් ලෙස ලෝකයේ රටවල් රැසක කෘතහස්ථ රාජ්ය තාන්ත්රිකයෝ රැසක් නාම යෝජනා ඉදිරිපත් කළහ.
මීට පෙර අවස්ථාවලදී මෙන් නොව, මෙවර එම සෑම අපේක්ෂකයකුගෙන්ම පැය දෙකක කාලයක් ප්රශ්න ඇසීම සිදු කෙරුණි. අවසානයේ අපේක්ෂකයන් සය දෙනකු තෝරා ගත් අතර, ඔවුන් අතරින් ද ජගත් රාජ්ය තාන්ත්රිකයන්ගේ පැසැසුමට ලක් වූයේ ගුටරේස් යැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
සෙසු අපේක්ෂකයන් අතරේ ලොව ප්රබල රාජ්ය තාන්ත්රිකයෝ කිහිප දෙනෙක් ද වූහ. සර්බියාවේ වුක් ජෙරමික්, ස්ලොවේකියාවේ මිරෝස්ලේව් ලජැක්, බල්ගේරියාවේ ඉරීනා බොවෝකා, නවසීලන්තයේ හෙලන් ක්ලාක් සහ ආජන්ටිනාවේ සුසානා මැල්කෝරා ඉතිරි අපේක්ෂකයන් පස් දෙනාය.
67 හැවිරිදි ඇන්තෝනියෝ ගුටරේස් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව මහ ලේකම්වරයා විය යුතු යැයි යෝජනා කළේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයයි. එන එහි සාමාජිකයන් 15 දෙනා එක් වී ඒකමතිකව ගත් තීරණයක් විය. කෙසේ නමුත් නිල වශයෙන් ඡන්දය විමසීමක් ද සිදුවුණු අතර, ඉන්පසු ඇන්තෝනියෝ ගුටරේස් නව මහලේකම්වරයා ලෙස පත් කෙරුණි. ගුටරේස් ලබන 2017 වසර ආරම්භ වෙද්දී නව මහ ලේකම්වරයා ලෙස සිය රාජකාරී ආරම්භ කරනු ඇත.
ඇන්තෝනියෝ ගුටරේස් එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ සංවිධානයේ මහ ලේකම්වරයා ලෙස ද කටයුතු කර ඇත. ඒ අනුව, ඔහු එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ධුරය භාර ගනු ඇත්තේ බටහිර යුරෝපා කලාපීය රටක රාජ්ය තාන්ත්රිකයකු ලෙසිනි.