දුරකතන සන්වාද ප්රසිද්ධවීම වළක්වයි
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් සහ ලෝක නායකයන් අතරේ පැවැත්වෙන දුරකතන සන්වාද ප්රසිද්ධියට පත්වීම වැළැක්වීමට පියවර ගෙන ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ජනපතිවරයා සහ විදෙස් නායකයන් අතරේ සිදුවන දුරකතන සන්වාද සියල්ල පටිගත කෙරේ. ඒවා මේ වනවිට විශේෂ ආරක්ෂක පරිගණක ජාලයක තැම්පත් කෙරේ.
කෙසේ නමුත් ඇමෙරිකා ජනාධිපති ට්රම්ප් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙන්ස්කි අතර පසුගිය ජූලි මාසයේ පැවැත්වුණු දුරකතන කතාබහ ප්රසිද්ධ වී, හටගත් අර්බුදය හේතුවෙන් මින් ඉදිරියට අධි ආරක්ෂිත පරිගණක ජාලයක දුරකතන සන්වාද තැම්පත් කරන බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
ඇමෙරිකා ජනාධිපතිවරයා සහ යුක්රේන ජනාධිපතිවරයා අතර දුරකතන සන්වාදය ප්රසිද්ධිය පත් කළේ ධවල මන්දිරයට අනුයුක්තව සේවය කරන ඇමෙරිකන් සී.අයි.ඒ. බුද්ධි නිලධාරියකු බව මේ වනවිට තහවුරු වී තිබේ.
ට්රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර දුරකතන සන්වාද, ට්රම්ප් සහ සෞදියේ සල්මාන් රජු, ඔටුන්න හිමි සල්මාන් කුමරු සහ ඇමෙරිකාවේ සෞදි තානාපති ලෙස කටයුතු කළ කලීඞ් බින් සල්මාන් කුමරු අතරේ පැවැති දුරකතන සන්වාද ආදිය ද රහාස්යභාවය සුරකිමින්, විශේෂ පරිගණක ජාලයේ තැම්පත් කර ඇති බව පැවැසෙයි.
ඇමෙරිකා ජනපති ට්රම්ප් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙන්ස්කි අතර පැවැති දුරකතන සන්වාදයෙන් පසු ට්රම්ප්ට එරෙහිව දෝෂභියෝවයක් ගෙන ඒමට ද ප්රතිවාදී ඩිමොක්රටික් අපේක්ෂකයෝ සූදානම් වෙති.
2020 ජනපතිවරණයේ දී ට්රම්ප්ගේ ප්රතිවාදියා වනු ඇතැයි පැවසෙන්නේ, ප්රතිවාදී ඩිමොක්රටික් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජෝ බයිඩන්ය. ට්රම්ප්ට පෙර, ජනාධිපති ධුරය හෙබවූයේ බැරැක් ඔබාමාය. ඔබාමාගේ දෙවැනියා එසේත් නැතිනම් උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ ජෝ බයිඩන්ය. ඩිමොක්රටික් පක්ෂයේ ප්රබලයකු ලෙස බයිඩන් සැලකිය හැකිය.
ජෝ බයිඩන් උප ජනාධිපති ධුරයේ කටයුතු කරද්දී, ඔහුගේ පුතා හන්ටර් බයිඩන්, යුක්රේනයේ සවභාවික වායු සමාගමක අධ්යක්ෂක මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කර ඇත. මේ සමාගම නීති විරෝධී කටයුතුවල නියැලුණු බවටත්, දූෂණ රැසකට සම්බන්ධ බවටත් චෝදනා එල්ල වී ඇති හෙයින් යුක්රේන රජය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ඇරැඹීය. මෙම විමර්ශන කටයුතුවලට ජෝ බයිඩන් මැදිහත් වී ඇත. ඔහු යුක්රේන එවකට පැවැති රජයට බලපෑම් කළේ යැයි ද පැවැසෙයි.
අද වනවිට යුක්රේනයේ පවතනින්නේ අලුත් රජයකි. ජනාධිපති ධුරය හොබවන්නේ විකට නළුවකු ලෙස ජනතා ප්රසාදය දිනාගත් ව්ලොදිමීර් ස්ලෙන්ස්කිය. රුසියාව සමඟ පවතින එදිරිවාදිකම් හේතුවෙන් යුක්රේනය ඇමෙරිකාවටත් යුරෝපා රටවලටත් පක්ෂපාතීය. පසුගිය ජූලි 25 වැනිදා, අභිනවයෙන් ජනපති පුටුවට ආ ස්ලෙන්ස්කිට සුබ ප්රාර්ථනා කරමින් ඇමෙරිකන් ජනාධිපති ට්රම්ප් ඔහුට දුරකතන ඇමතුමක් දුන්නේය.
එහිදී, ට්රම්ප්, යුක්රේන ජනපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ වායු සමාගමේ සිදුවීම සම්බන්ධයෙන් ජෝ බයිඩන්ගෙන් එල්ල වුණු බලපෑම් සෙවීමට විමර්ශනයක් ආරම්භ කරන ලෙසය. එසේ නොකරන්නේ නම්, ඇමෙරිකාවෙන් යුක්රේනයට ලැබෙන ‘ආධාර’ අඩු කරනවා යැයි ට්රම්ප් තර්ජනය කළේ යැයි ද පැවැසෙයි.
මේ දුරකතන කතාබහ කොංග්රස් මණ්ඩලයට (ඇමෙරිකන් පාර්ලිමේන්තුවට) අනාවරණය විය. කොංග්රස් මණ්ඩලය නියෝජිත මන්ත්රී මණ්ඩලය සහ සෙනෙට් මණ්ඩලය යනුවෙන් කොටස් දෙකකි. නියෝජිත මන්ත්රී මණ්ඩලයේ බලය ඇත්තේ ප්රතිවාදී ඩිමොක්රටික් පාක්ෂිකයන් සතුවය. සෙනෙට් මණ්ඩලයේ බහුතරය ට්රම්ප්ගේ රිපබ්ලිකන් පාක්ෂිකයන් අතරේය. ජෝ බයිඩන් සම්බන්ධයෙන් ට්රම්ප් විමර්ශනයක් ඉල්ලා ඇත්තේ, 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වනඔහුට ‘මඩ ගැසීමට’ ය.
දේශපාලනික වාසි අපේක්ෂාවෙන්, ප්රතිවාදි අපේක්ෂකයකුට එරෙහිව, විදෙස් රාජ්ය නායකයකුගේ සහාය ඉල්ලීම වරදක් බව නියෝජිත මන්ත්රී මණ්ඩලය පෙන්වා දෙයි. ඒ අනුව, නියෝජිත මන්ත්රී මණ්ඩල කතා නායිකා නැන්සි පොලොන්ස්කි ට්රම්ප්ට එරෙහිව දෝෂාභියෝගය ගෙන ඒමට පියවර ගෙන තිබේ.
මේ අතර, යුක්රේන අර්බුදය උත්සන්න වෙද්දී, යුක්රේනයට වෙනුවෙන් පත් කර සිටි විශේෂ ඇමෙරිකන් නියෝජිත කර්ට් වෝල්කර් සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බව ද ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.
වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)