දින 100ක වැඩසටහනක්
මාලදිවයිනේ නව ආණ්ඩුව දින 100ක වැඩසටහනක් ඉදිරිපත් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
මාලදිවයිනේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ මොහොමද් සෝලි ඊබ්‍රහිම්ගේ නායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වීමට නියමිතය.
මොහොමද් සෝලි ඊබ්‍රහිම් පසුගිය 17 වැනිදා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් අතර ඊට පසු ජනාධිපති කාර්යාලය අදාළ දින 100 වැඩසටහන ඇතුළත් පිටු 15කින් යුත් ලේඛනයක් ප්‍රකාශයට පත් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
එම දින 100 වැඩසටහන යටතේ ක්ෂේත්‍ර 23ක් ආවරණය වන පරිදි පොරොන්දු 161ක් ලබා දී ඇත.
එහි පළමු දිනය, පළමු සතිය, පළමු මාසය, පළමු දින 60 සහ පළමු දින 90 යනුවෙන් කොටස්වලට බෙදා ඇත.
දූෂණය නිසා අහිමි වූ රාජ්‍ය මුදල්, වංචා හා දූෂණ සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳව සෙවීමට කමිටුවක් පත් කිරීම සහ ඒවා පිළිබඳව පරීක්ෂණ ආරම්භ කිරීම, සියලූම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ දේශපාලන සිරකරුවන්ගේ නඩු විභාග හා චෝදනා පිළිබඳව නැවත විමසා බැලීම, පෞද්ගලික වුවමනාවලට අනුව අත්අඩංගුවට ගත් පිරිස් සම්බන්ධ සිදුවීම් නැවත විමසා බැලීම එම දින 100 වැඩසටහනේ පළමු දිනයේ පොරොන්දුය.
එම පොරොන්දුවලට අනුව යමින් මාලදිවයිනේ ප්රජාතන්ත්රවාදී ලෙස පත් වූ පළමු ජනාධිපතිවරයා වන මොහොමඞ් නෂීඞ්ට එරෙහිව ලබා දුන් තීන්දු විමසා බැලූ අතර ඔහුට එල්ල වී තිබූ ත්‍රස්ත චෝදනා සියල්ල වැරැදි බවත් සියලු චෝදනාවලින් හිටපු ජනාධිපතිවරයා නිදහස් කරන බවත් එරට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගත්තේය.
හර්ෂණ තුෂාර සිල්වා
(රොයිටර්ස්)