දිගටම බලයේ ඉන්න ඉඩ සැළසෙයි



ජනාධිපතිධුරය දැරිය යුතු ධුර කාලය සම්බන්ධයෙන් තිබෙන සීමා ඉවත් කරමින් චීනයේ කොමියුනිසිට් පක්ෂය එරට ජනාධිපති ෂී ජින්පින්ග්ට දිගටම බලයේ රැඳි සිටීම සඳහා ඉරිදා (25) ඉඩකඩ සකසා දුන්නේය.

සීමාවක් නොමැතිව බලයේ රැඳි සිටීමට මේ අනුව ෂී ජින්පින්ග් ජනාධිපතිවරයාට අවස්ථාව සකසා දෙමින් චීනයේ කොමියුනිස්ට් පක්ෂය දශක ගණනක් පැවැති නීතිරීති වෙනස් කළේය. මෙම නව සංශෝධන සමඟ චීනය මාවෝ සේතුංගේ සමයේ පැවැති ආගමික, වන්දනීය සහ කීකරු පාලන සමයට ගමන් කරන බව ‘නිව්යොර්ක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කර තිබිණි.

ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා අදාළ යෝජනාව ඉදිරිපත් වූයේ ඉරිදා (25) වන අතර එය ෂී ජින්පින්ග් ජනාධිපතිවරයා ගන්නා ලද එඩිතරම තීරණයකි. ෂී ජින්පින්ග් ජනාධිපතිවරයා චීන සමාජය නවීකරණය කර චීනය ගෝලීය දේශපාලනයේ බලවතකු කරමින් චීනයට හිමි ස්ථානය සඳහා කොමියුනිස්ට් පක්ෂයේ පාලනය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියක නිරත වී සිටියි. මෙම වැඩපිළිවෙළ සඳහා ෂී ජින්පින්ග් ජනාධිපතිවරයාගේ පෞද්ගලික නායකත්වය ශක්තිමත් කළ යුතු යැයි ජනාධිපතිවරයාගේ මිත්‍ර පාර්ශව යෝජනා කර තිබේ.

මතභේදාත්මක දකුණු චීන මුහුදේ අයිතිය චීනයට හිමිවිය යුතු යැයි ජනාධිපති ෂී ජින්පින්ග් අවධාරණය කර තිබේ. විසි එක්වැනි සියවසේ සේද මාවත සහ සාගර සේද මාවත, එසේ නැතිනම් ‘වන් බෙල්ට් වන් රෝඞ්’ ගෝලීය යටිත පහසුකම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ද චීන ජනාධිපති ෂී ජින්පින්ගේ නායකත්වය යටතේය. චීනය නවීකරණය කිරීමේ වැඩසටහන් රැසක පුරෝගාමියා වන්නේ ද චීන ජනාධිපති ෂී ජින්පින්ග්ය. ලෝක බල දේශපාලනයේ ප්‍රමුඛ පෙළේ චරිතයක් වන චීන ජනාධිපති ෂී ජින්පින්ග් කොමියුනිස්ට් සහ කොන්ෆියුසිස් මූලධර්මවලට මුල්තැන දී කටයුතු කරයි.

චීන ජනාධිපතිවරයාට දිගටම බලයේ රැඳී සිටීම සම්බන්ධයෙන් වන නිවේදනය මෙතරම් ඉක්මනින් ප්‍රකාශයට පත්වීම චීන දේශපාලනය නිරීක්ෂණය කරන අත්දැකීම් ඇති විශ්ලේෂකයන් ද පුදුමයට පත් කර තිබේ. චීන ජනාධිපතිවරයාගේ පළමු ධුර කාලය අවසන් වීමට ඇත්තේ ලබන මාසයේදීය. දෙවැනි ධුර කාලයෙන් පසු ජනාධිපතිධුරයෙන් ඉවත් වී රට පාලනය කිරීමේ හැකියාවද චීන ජනාධිපතිවරයාට තිබුණේය. මීට පෙර චීනයේ සිටි ජනාධිපතිවරුන් ද එසේ කර තිබේ. මෙම තීරණයත් සමඟ චීනය තුළ දේශපාලන ලිබරල්කරණය වෙනුවෙන් හඬ නගන පිරිස්වලටද බලපෑමක් එල්ල වී තිබේ.

දීර්ඝ කාලයක් බලයේ සිටීම මේ වනවිට ප්‍රවණතාවක් බවට පත්ව තිබේ. රුසියානු ජනාධිපති මේ වසරේදී සිව්වැනි වරටත් ජනාධිපතිවරණයට තරග වදී. වසර 2000දී ජනාධිපතිධුරයට පත්වූ පුටින් ජනාධිපතිවරයා 2008 වනතෙක් ජනාධිපතිධුරය දැරීය. රුසියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අඛණ්ඩව තෙවරක් ජනාධිපතිධුරය හෙබවිය නොහැකි බැවින් හෙතෙම 2008 වසරේදී අග්‍රාමාත්‍යධුරයට පත්වූ අතර තෙවැනි වරට 2012දී ජනාධිපතිධුරයට පත්විය. ව්ලැදිමීර් පුටින් 2013 වසරේ සිට රුසියාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරයි. ලබන මස පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් හෙතෙම 2024 දක්වා ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට සුදුසුකම් ලබනු ඇත. දිගටම බලයේ රැඳී සිටීම කටයුතු සකස් කරගත් අනෙක් රාජ්‍ය නායකයා තුර්කියේ රිචෙප් තායිප් එර්දොවාන්ය.

ව්‍යවස්ථාවේ දැන් පවත්නා තත්ත්වය අනුව ෂී ජනාධිපතිවරයාට බලයේ රැඳි සිටිය හැක්කේ වසර 10ක් පමණි. ෂී ජින්පින්ග් ජනාධිපතිවරයා පළමු වරට ජනාධිපතිධුරයට පත්වූයේ 2013 වසරේදීය. එහෙත් චීන කොමියුනිස්ට් පක්ෂ නායකත්වය ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා දෙවරක් පමණක් ධුරයේ රැඳි සිටිය යුතු බවට ව්‍යවස්ථාවේ දැක්වෙන වගන්තිය ඉවත් කිරීමට යෝජනා කළ බව චීනයේ ෂිංහුවා පුවත් සේවය වාර්තා කළේය.  මෙම නව සංශෝධනයත් සමඟ දැනට 64 වන වියේ පසුවන ෂී ජින්පින්ග් ජනාධිපතිවරයා වසර 2023න් පසුද බලයේ රැඳී සිටීමට අවස්ථාව ලැබෙනු ඇත.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS