දකුණු කොරියා ජනපතිනියට එරෙහිව දෝෂාභියෝගයක්



 (රොයිටර්/ඒ.එෆ්.පී.)

මුල්‍ය අක්‍රමිකතා සහ බලය අනිසි ලෙස භාවිත කළැයි චෝදනා එල්ල වී සිටින දකුණු කොරියානු ජනපතිනී පාක් ග්වෙන් හේට විරෝධය පළ කරමින්, ඇය ධුරයෙන් ඉවත් කිරීම සඳහා සිකුරාදා (9) එරට පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කෙරුණි.
දකුණු කොරියානු ව්‍යවස්ථාදායකය මගින් එරට කතානායකවරයාට දෝෂාභියෝගය ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසුමක් පැවැත්විණි.
දකුණු කොරියාව ප්‍රජාතන්තවාදී රාජ්‍යයක් බවට පරිවර්තනය වීමෙන් පසු එරට ජනපතිවරයකු එම ධුරයෙන් ඉවත් කිරීමට එරට ව්‍යවස්ථාදායකය උත්සාහ කරන පළමු අවස්ථාව මෙයයි.
මුල්‍ය අක්‍රමිකතා සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම පමණක් සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනපතිනියට චෝදනා එල්ල වී ඇත්තේ ඇය ඇගේ සමීපතම මිතුරිය මෙන්ම ඇගේ ආධාරකාරියක ද වන චොයි සූන් සිල් ට රටේ මූල්‍ය අංශ සමඟ සම්බන්ධ වීමට ඉඩ සලසා දීම හේතුවෙනි.
64 හැවිරිදි ජනපතිනී පාක් ග්වෙන් හේ මෙම චෝදනා සම්බන්ධයෙන් ජනතාවට පවසා ඇත්තේ තමා වරදක් කර නැති බවය. කෙසේ නමුත් චොයි සූන් සිල් රටේ මූල්‍යාංශවලට සම්බන්ධ වීම සිදුවූයේ තම නොසැලකිල්ල නිසා බව තමා පිළිගන්නවා යැයි ජනපතිනිය ජනතාවට පවසා ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලීමක් ද කර ඇත.
පාක් ග්වෙන් හේට විරුද්ධව මෙම චෝදනා පළමුවරට එල්ල වෙද්දී, දකුණු කොරියානු වැසියෝ වීදි බැස විරෝධතා දක්වන්න වූහ. ජනපතිනියට පක්ෂපාතී පිරිස් පවා ඇගේ ක්‍රියා කලාපය හෙළා දකිමින් වීදි බැස ඇයගෙන් ඉල්ලා සිටියේ, දෝෂාභියෝගයකින් ඉවත් කිරීමට පෙර ධුරයෙන් ඉවත් වන ලෙසටය. දෝෂාභියෝගය ඉතා සංකීර්ණ ක්‍රියාවලිය සංකීර්ණ එකක් වන අතර ඊට දින 180 ක් ගතවෙයි.
දෝෂාභියෝගයෙන් පරාජය වුවහොත්, ජනපතිනියට එල්ල වී ඇති එම චා්දනා සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙයි. ඇය වරදකාරිය වුවහොත් ඇයට ධුරය අහිමි වෙයි. දෝෂාභියෝගයට පක්ෂ 2/3 ක් ලබා ගැනීමට ජනපතිනියට විරෝධය පළ කරන ඇගේ පාලක කොන්සවර්ටිව් පක්ෂයේ ඇතැමුන්ට සහ විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සිදුවෙයි.

RECOMMEND POSTS