තායිලන්තයේ නව රජු ජනතාව ඉදිරියේ



 (රොයිටර්)
තායිලන්තයේ නව රජ පළමුවරට ඊයේ  (2) ජනතාව ඉදිරියේ පෙනී සිටියේය. තායිලන්තයේ හිටපු රජු භූමිබෝල් අදුල්යාදේ රජුගේ අභාවයෙන් පසු ඔහුගේ පුත් මහ වජිරලෝන්ග්කෝන් පෙරේදා (1) රජකම බාර ගත්තේය.
තායිලන්තයේ නව රජු වන මහ වජිරලෝන්ග්කෝන් මේ වනවිට හැට හතර හැවිරිදි වියේ පසුවන අතර ඔහු ඊයේ (2) තම පියාගේ අභාවයෙන් දින පනහ සැමරීම වෙනුවෙන් පැවති උත්සවයකට සහභාගී වූයේය. භූමිබෝල් අදුල්යාදේ රජු අභාවප්‍රාප්ත වූයේ පසුගිය ඔක්තෝබර් මස තුන් වැනිදාය. 
රාජ්‍ය සේවකයන් කළු සහ සුදු ඇඳුම්වලින් සැරැසී නව රජුගේ රිය පෙළ ගමන් කළ මග දෙපස රැස්වූහ. භූම්බෝල් අදුල්යාදේ රජුගේ අභාවයෙන් පසු රජකම බාරගැනීම තරමක් ප්‍රමාද කිරීමට එවකට ඔටුන්න හිමි කුමරු වූ මහ වජිරලෝන්ග්කෝන් කටයුතු කළේය. ඒ අනුව ඔහු රජකම බාරගැනීම සති හතක් ප්‍රමාද කළේය. 
ඔටුණු පැළඳීමේ උත්සවය කෙටි උත්සවයක් වූ අතර එය රූපවාහිනිය ඔස්සේ විකාශය ද කෙරිණි. ඔහු බාරගැනීමත් සමඟ රජ මාලිගයත් 2014 වසරේ සිට බලයේ සිටින ජෙනරාල්වරුන් අතරත් තිබෙන සබඳතා සම්බන්ධයෙන් මේ වනවිට විවිධ අදහස් පළවෙමින් පවතියි. ඒ සම්බන්ධයෙන් බොහෝ පිරිස් කරුණු විමසීම් කර ඇතැයි ද වාර්තා වේ. 
ඉදිරි වසරකට කාලය තුළ ආර්ථික දේශපාලන වෙනස්කම් රැසක් කළ යුතු තායිලන්ත හමුදා පාලනය මේ වනවිට ප්‍රකාශ කර ඇති අතර ලබන වසරේදී මහ මැතිවරණයක් පවත්වන බව ද ඔවුහු ප්‍රකාශ කර ඇත.

RECOMMEND POSTS