තායි රජුගේ මෞලිමංගල්‍යය තෙදිනක් තිස්සේ



බෞද්ධ සහ බ්‍රාහ්මීය චාරිත්‍රවලට අනුව, පසුගිය දා ආරම්භ වුණු තායිලන්තයේ මහා වජිරලෝන්කෝන් රජුගේ මෞලිමංගල්‍යය හෙට (7) අවසන් වෙයි. තායිලන්ත රජ පෙළපතේ සම්ප්‍රදායට අනුව, මෞලිමංගල්‍යය දින 3 ක් තිස්සේ පැවැත්විණි.

මෞලි මංගල්‍යයේදී, රජතුමා ජීවමාන දෙවියකුගේ තත්ත්වයට පත් කෙරුණි. මහා වජිරලෝන්කෝන්ට කිරුළ හිමිවූයේ 2016 වසරේ දී, ඔහුගේ පියා භූමිබෝල් අබ්දුල්වාදෙජ් රජුගේ අභාවයෙන් පසුවය. කිරුළ හිමිවනතුරු වජිරලෝන්කෝන් ඉතා කෙළිලොල් ජීවිතයක් ගත කළ අයෙකි.

රාජකීය කිරුළට අමතරව, රාජකීය පාවහන්, රාජකීය වටාපත, අසිපත සහ රාජකීය සෙංකෝලය රජුට පිරිනැමීමය මෞලිමංගල්‍යයේ චාරිත්‍රවලට අයත් විය.

මෞලිමංගල්‍යයට ඔන්න මෙන්න කියා තිබියදී මහා වජිරලෝන්කෝන් සිවුවැනිවරට විවාහ විය. එය තායිවැසියන්ගේ පුදුමයට හේතුවක් විය. රජු සිය බිසව කරගත්තේ ඔහුගේ දීර්ඝ කාලීන පෙම්වතියක වූත්, නියෝජ්‍ය ආරක්ෂක අංශ නිලධාරීනියයි. හමුදා ජනරාල්වරියක ලෙස උසස්වීමක් ද ලබා ඇති ඇය සුතිදා රැජින යන නිලනාමයෙන් හැඳින්වෙයි.

වජිරලෝන්කෝන් තායි ගුවන් සේවයේ ගුවන් නියමුවකු වී සිටි කාලයේ ඔහුට සුතිදා හමුවෙද්දී ඇය තායි ගුවන් සේවයේ ගුවන් සේවිකාවක වී සිටියාය. තම නියෝජ්‍ය ආරක්ෂක නිලධාරිනිය ලෙස සුතිදා පත් කර ගත්තේ ද වජිරලෝන්කෝන් රජු විසිනි. එපමණක් නොව ඇය හමුදා ජනරාල්වරියක් ලෙස උසස් වීමක් ලබා දුන්නේ ද වජිරලෝන්කෝන් රජුය.

හමුදා නිලධාරිනියක් නොවන සුතිදා හමුදා ජනරාල්වරියක කිරීම තායිලන්ත වැසියන්ගේ අප්‍රසාදයට හේතුවක් විය. එපමණක් නොව, තායි රජු ඔටුන්න හිමි කුමරුන් ලෙස කටයුතු කරද්දී ඔහුගේ සුරතල් පූඞ්ල් වර්ගයේ බලු සුරතලා ෆෝෆෝට එයාර් මාෂල් ධුරයක් ද ලබා දුන්නේය. එවැනි තත්ත්වයක් යටතේ සිය ආදරවන්තියට හමුදා ජනරාල් ධුරයක් පිරිනැමීම පුදුමයට කරුණක් නොවන බව තායිලන්ත මාධ්‍ය පෙන්වා දී තිබුණි.

බැංකොක්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS