තායි රජ කුමරිය ඡන්ද සටනට



තායිලන්ත මහ මැතිවරණය ලබන මාර්තු 24 වැනිදා පැවැත්වීමට නියමිත අතර, තායිලන්තයේ මහා වජිරාලොන්ගා රජුගේ වැඩිමල් සොයුරිය උබොල්රතන මෙහිදෝල් කුමරිය ද අගමැති ධුරය අපේක්ෂාවෙන් ඊට ඉදිරිපත් වෙයි.

67 හැවිරිදි උබොල්රතන මෙහිදෝල් කුමරිය මැතිවරණයට ඉදිරිපත් වන්නේ ‘තායි රක්ෂා චාට්’ පක්ෂය නියෝජනය කරමිණි. මෙහිදෝල් කුමරිය උගත් තැනැත්තියක බවත්, ජනතාවගේ පැසැසුමට ලක්වී සිටින චරිතයක් බවත් අගමැති ධුර අපේක්ෂිකාව වීමට ඇයට සියලු සුදුසුකම් ඇති බවත් ‘තායි රක්ෂා චාට්’ පක්ෂයේ නායක ප්‍රීචාපෝල් පොන්ග්පාංචී පක්ෂ නියෝජිතයන් ද සමඟ මාධ්‍ය හමුවේ කියා සිටියේය. ඒ, ඊයේ (8) මෙහිදෝල් කුමරියගේ නම මැතිවරණය සඳහා ලියාපදිංචි කිරීමෙන් පසුවය.

තායිලන්තයේ හිටපු අගමැතිවරුන් වන දූෂණ චෝදනා සහ මූල්‍ය වංචා චෝදනාවලට ලක් වී තායිලන්තය හැර ගොස් විදේශගතව ජීවත් වන තක්ෂින් ෂිනවාත්‍රා සහ ඔහුගේ නැගණිය යිංග්ලක් ෂිනවාත්‍රා නියෝජනය කළේ ද තායි රක්ෂා පක්ෂයයි.

උබොල්රතන මෙහිදෝල් උපත ලබා ඇත්තේ 1951 වසරේදීය. ඇය අභාවප්‍රාප්ත වූ භූමිබෝල් අදුල්යාදේව් වැඩිමල් දරුවාය. මහා වජිරාලොන්ගා බොදින්ද්‍රාද් ඒබි්‍රයාරංගු තායිලන්ත රජ කිරුළ හිමිවූයේ භූමිබෝල් අදුල්යාදේව් රජුගේ අභාවයෙන් පසුවය.

1972 දී, උබොල්රතන මෙහිදෝල් කුමරිය ඇමෙරිකන් ජාතිකයකු සමඟ විවාහ විය. ඉන්පසු ඇය ඇමෙරිකාවේ පදිංචියට ගියාය. ඒ, රජ පවුලේ නිල නාමය සහ තනතුරු අතහැර සාමාන්‍ය වැසියකු ලෙසය. දික්කාසාදයෙන් පසු යළි තායිලන්තයට පැමිණි ඇය යළි රජ පවුලට සම්බන්ධ වූවාය. ඒ අනුව, යළි ‘රජ කුමරිය’ නාමය ඇයට හිමිවිය. ජනතා ආදරය දිනාගනිමින් සමාජ සේවා කටයුතු රැසක නියැලෙන මෙහිදෝල් කුමරිය තායිලන්ත සිනමා නිළියක ද වෙයි. තායිලන්ත සමාජ ජාල ඔස්සේ වඩාත් කතාබහට ලක්වන චරිතයක් වන්නේ ද මෙහිදෝල් කුමරිය යැයි පැවැසෙයි.

උබොල්රතන මෙහිදෝල් කුමරිය තිදරු මවකි. ඇගේ එක් දරුවකු 2004 වසරේ සුනාමියට හමුවී මියගිය බවත් අනෙක් දරු දෙදෙනා ඇමෙරිකාවේ ජීවත් වන බවත් පැවැසෙයි.

මෙහිදෝල් කුමරිය මේ අයුරින් දේශපාලනය අවතීර්ණ වීම සුවිශේෂී සිදුවීමක් බව තායිලන්ත දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඊට හේතුව, මින් පෙර රජ පවුලේ කිසිදු සාමාජිකයකු තායිලන්තයේ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වී නැත.

රජ පවුලේ සාමාජිකයකු මැතිවරණයට ඉදිරිපත් වුවහොත් එම සාමාජිකයාට එරෙහිව තරග වැදීමට කිසිදු අපේක්ෂකයකු ඉදිරිපත් වන්නේ ද නැත. ඒ, තායිලන්ත වැසියන් රජ පවුලට දක්වන ගෞරවය හේතුවෙනි.
කෙසේ නමුත් වර්තමානයේ අගමැති ධුරයේ කටයුතු කරන හිටපු හමුදාපති ප්‍රයාත් චාන් ඕචා පවසා ඇත්තේ තමන් යළි අගමැති ධුරය වෙනුවෙන් තරග වදින්න සූදානම් බවය.

2014 වසරේ තායිලන්තය දේශපාලන දැඩි අර්බුදයකට මුහුණ දුන් අතර, රට අස්ථාවර වන්නට විය. ඒ වනවිට බලයේ සිටියේ අගමැති යිංග්ලක් ෂිනවාත්‍රා ප්‍රමුඛ රජයයි. එම අවස්ථාවේ හමුදාපති ලෙස කටයුතු කළේ ප්‍රයාත් චාන් ඕචා ය. ඔහු ප්‍රමුඛ හමුදාව හමුදා කුමන්ත්‍රණයනකින් රටේ බලය අල්ලා ගත්තේය.

හමුදාපති ලෙස බලයට පත් වුණු චාන් ඕචා පසුව හමුදාපති ධුරය අත්හැර සිවිල් අගමැතිවරයකු ලෙස ද කටයුතු කළේය. මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බව පැවැසුව ද එය දිනෙන් දින ප්‍රමාද විය. කෙසේ නමුත් ලබන මාර්තු 24 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව අගමැති චාන් ඕචා නිවේදනය කළේ පසුගිය ජනවාරියේය.

චාන් ඕචා නියෝජනය කරන්නේ තායිලන්ත හමුදාවට පක්ෂ, හමුදාවේ සහාය හිමිවන ‘පලාංග් ප්‍රචාරාත්’ පක්ෂයයි. 1932 වසරේ සිට මේ දක්වා අවස්ථා 12 කදී තායිලන්ත හමුදාව කුමන්ත්‍රණ මගින් රටේ බලය අල්ලා ගෙන ඇත.

බැංකොක්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS