තලේබාන් සමුළුවක් රුසියාවේ



ඇෆ්ගන් තලේබාන් සංවිධානය සහ ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානීගේ රජයට විරෝධය පළ කරන විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල නායකයන් අතර හමුවක් රුසියාවේ මොස්කව් නුවරදී පැවැත්වීමට නියමිතය.

එම හමුව පැවැත්වෙනු ඇත්තේ රුසියානු රජයේ අනුග්‍රහය මැදය. රුසියානු විදේශ ඇමැති සර්ගේ ලැව්රෝෆ් සාකච්ඡා සඳහා මැදහත්කරුවකු ලෙස කටයුතු කරනු ඇති බව පැවැසෙයි. දෙදිනක් පුරා පැවැත්වෙන සාකච්ඡා හෙට (5) මොස්කව් නුවරදී ආරම්භ වීමට නියමිත බව ද වාර්තා වේ.

ඇෆ්ගන් තලේබාන් සංවිධානය සහ ඇෆ්ගන් විපක්ෂ දේශපාලන කණ්ඩායම් චෝදනා කරන්නේ ඇෆ්ගන් ජනාධිපති ඝානී ඇමෙරිකාවේ රූකඩයක් බවය.

මේ අතර ඇමෙරිකා රජයේ විශේෂ නියෝජිත සැල්මේ කලීසාද් සහ තලේබාන් සංවිධානයේ දේශපාලන අංශය අතර ද විශේෂ සාකච්ඡා පැවැත්වෙයි. ඒ, කටාර් හි පිහිටුවා ඇති තලේබාන් සාම කාර්යාලය හරහාය. වසර 17 ක් තිස්සේ ඔඩුදුවන ඇෆ්ගන් අර්බුදයට සාමකාමී විසඳුමක් සෙවීම මෙම සාකච්චාවල අරමුණ වී ඇති බව වාර්තා වේ.

මොස්කව්හිදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS