තලේබාන් කණ්ඩායම ඇමෙරිකන් නියෝජිතයා හමුවෙලා
පාකිස්තානයට ගිය ඇෆ්ගන් තලේබාන් සාම කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් පත් කරනු ලැබ සිටින විශේෂ නියෝජිත සැල්මේ කලිසාද් අතර විශේෂ හමුවක් පැවැත්විණි.
තලේබාන් සාම නියෝජිත කණ්ඩායම පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර බලා පැමිණියේ පාකිස්තාන රජයේ නියෝජිතයන් හමුවී, ඇෆ්ගන් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය. ඇෆ්ගනිස්තානය සාමය උදා කිරීමේදී අසල්වැසි පාකිස්තානයේ සහාය අත්‍යාවශ්‍ය වෙයි. ඇෆ්ගන් අර්බුදය අවසන් කිරීමට තමන් සහාය දෙන බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පොරොන්දුවක් ලබා දී ඇත.
පසුගිය මාස කීපය පුරාවට ඇමෙරිකන් විශේෂ නියෝජිත විශේෂ නියෝජිත සැල්මේ කලිසාද්ගේ මැදිහත්වීමෙන්, දෝහා කටාර් තලේබාන් සාම කාර්යාලය හරහා ඇමෙරිකාව සහ තලේබාන් සංවිධානය අතර සාම කතා පැවැත්විණි.
තලේබාන් සංවිධානය කොටස් දෙකකි. ඒ, දේශපාලනික අංශය සහ සන්නද්ධ අංශය යනුවෙනි. දේශපාලන අංශයේ සාම නියෝජිතයන් සාම සාකච්ඡා පවත්වද්දී, සන්නද්ධ අංශය ඇෆ්ගනිස්තානයේ බෝම්බ පුපුරුවන්න විය. සාම කතා අවසන් අදියරට පැමිණෙද්දී, ඇෆ්ගන් නියෝජිතයන් සහ ඇෆ්ගන් ජනාධිපති ඇමෙරිකාවට ගෙන්වා ගෙන සාකච්ඡා පැවැත්වීමට ජනපති ට්‍රම්ප් සූදානමින් සිටියේය.
තලේබාන් බෝම්බ පිපිරීම් මුල්කොට ගනිමින් අවසන් මොහොතේ එම සාම කතා අවලංගු කිරීමට ජනපති ට්‍රම්ප් තීරණය කළේය. තලේබාන් සාම නියෝජිතයන් සහ ඇමෙරිකන් විශේෂ නියෝජිත සැල්මේ කලිසාද් අතර හමුවක් පැවැත්වෙන්නේ සාම කතා අවලංගු කිරීමෙන් සති ගණනකට පසුවය. එම හමුව පැවැත්වීම සිදුවූයේ පාකිස්තානයේ මැදිහත් වීමෙන් බව ද පැවැසෙයි.
ඉස්ලාමාබාද්හිදීය (එන්.ඩී.ටීවී.)